සුන්නාහ්ව අනුගමනය කිරීම

ඉස්ලාම් දහමට යළි පිවිසෙන සහෝදර සහෝදරියන්, තමන් තෝරා ගත් නවක දහම පිළිබඳ ව නගන විවිධ ප්‍රශ්නවලට නිමාවක් නැත.

“මම සලාහ් ඉටු කරන්නේ කොහේ ද? දිනකට කොපමණ වතාවක් සලාහ් ඉටු කළ යුතු ද? මම  උපවාසයේ යෙදෙන්නේ කවදා ද?  අතපසු වූ උපවාසය සම්පූර්ණ කරන්නේ කෙසේ ද, කවදා ද? මා ගෙවිය යුතු සකාත් ප්‍රමාණය කොපමණ ද? මට හජ් වන්දනාව ඉටු කිරීමට අපහසු නම් එය ඉටු කළ යුතුම ද?....” මේ හා සමාන නොයෙක් ප්‍රශ්න රාශියක් ගලා එයි.

බොහෝ නවක මුස්ලිම්වරුන්ගෙන් අපි මුහුණ දෙන එක් ප්‍රශ්නය, සුන්නාහ් පිළිබඳව බව ද‘අවා ක්‍රියාවෙහි නිරත වන අප කවුරුත් දනිමු. “සුන්නාහ්වට වඩා අල් කුර්ආනය උසස් නම්, සැක කිසිවක් නොමැති එකක් නම්, සුන්නාහ් පිළිබඳව අධ්‍යයනය කිරීමට හෝ අනුගමනය කිරීමට තිබෙන අවශ්‍යතා කුමක් ද?”

මෙය හා සමාන නොයෙක් ප්‍රශ්න සියල්ලන්හි සාරාංශය නම්, අල් කුර්ආන් අපට තිබිය දී මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ හදිස් සහ සුන්නාහ් ව අනුගමනය කිරීමට තිබෙන අවශ්‍යතා ව කුමක් ද? නවක මුස්ලිම්වරුවන්ගේ දැනුමේ තත්ත්වය සහ ඔවුන් කල්පනා කරන්නේ කුමන අයුරින් ද යන මිනුම් දණ්ඩක් ලෙස උපයෝගි කිරීම පිණිස මෙවැනි ප්‍රශ්න ඉතාමත් වැදගත් බව අපි දැන ගත යුතුය.  මෙහි තවත් වැදගත් කරුණක් නම්, මේ ජනයා මුස්ලිම් වීමට පෙර අනුගමනය කළ ආගම් හි සුන්නාහ් හා සමාන කිසිවක් නොතිබීම මෙයට ප්‍රධාන හේතුවකි. මෙම ගැඹුරු ප්‍රශ්න වලට අල් කුර්ආන්හි ම පිළිතුරු සොයා ගත හැකි බව අපි දැන ගත යුතුය.

කුර්ආනය පිළිපැදීම සුන්නාහ් ව පිළිපැදීම වේ.

සුන්නාහ් පිළිබඳ ප්‍රශ්නයට අල්ලාහ් සෘජුව ම අල් කුර්ආනයේ විවිධ තැන්හි පිළිතුරු සපයා ඇත.

කුර්ආනය අනුගමනය කිරීම යනු මුහම්මද් නබි (සල්) තුමාණන් ව හෝ එතුමාණන්ගේ සුන්නාහ් ව අනුගමනය කිරීමක් බව අල්ලාහ් කුර්ආනයේ ප්‍රකාශ කරයි.

“එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල් වරයාව ද, අප පහළ කළ ආලෝකය ද නුඹලා විශ්වාස කරවු. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥාන වන්තයාය. ”

64:8

“(නබිවරයාණනි!) සැබැවින්ම අපි නුඹ ව සාක්ෂි දරන්නෙකු ලෙස ද  සුබාරංචි  පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද යැව්වෙමු. නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ රසූල් වරයාව ද විශ්වාස කර ඔහුට සහාය දී ඔහුට ගෞරව දක්වා උදෑසන හා සවස ඔහුට පිවිතුරු කිරීම පිණිසය.”

48:8-9

“එහෙයින් අල්ලාහ් ගැන ද ඔහුගේ කලිමා ගැන ද විශ්වාස කරන උම්මි නබි වූ රසූල්වරයා ගැන ද විශ්වාස කර  ඔබ යහමඟ වනු පිණිස ඔහු අනුගමනයද කරවු යි කියනු.”

7:158

“රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු.”

59:7

“අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන්ට අල්ලාහ්ගේ රසුල් වරයාගෙන් නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත.”

33:21

සහාබාවරු කිහිප දෙනෙක් “අල්ලාහ්ගේ රසූල් තුමාණනි! අපි අල්ලාහ් ව ප්‍රිය කරමු.” යැය පැවසු විට මෙම වාක්‍යය පහළ වූ  බව ඉමාම් හසන් අල් බසරි දන්වයි.

 “ඔබ අල්ලාහ් ව ප්‍රිය කරන්නෙහි නම් මා අනුගමනය කරනු. අල්ලාහ් ඔබ ව ප්‍රිය කරන්නේය. ඔබගේ පව් ඔබට ක්‍ෂමා කරන්නේය. අල්ලාහ් ක්‍ෂමාව දෙන්නේය. දයාලුය යි පවසනු.”

3:31

එබැවින් අපි අල් කුර්ආනය අනුගමනය කරන්නේ නම්, එයට සුන්නාහ් ව ද අනුගමනය කිරීම ඇතුලත්ය.

සුන්නාහ් යනු කුමක්ද?

අල් කුර්ආනය පෙන්වන ආකාරයට, අපි අල්ලාහ් ව ප්‍රිය කරන්නේ නම්, අල් කුර්ආනය සහ එහි නිවේදනය අනුගමනය කිරීමට කැමති නම්, අපි සුන්නාහ් ව අනුගමනය කළ යුතය. මෙහි අර්ථය කුමක් ද?

අල්ලාහ්ගෙන් පහළ වූ කුර්ආනයට අමතර ව, රසූල් (සල්) තුමාණන් ගේ මාර්ගයෙන් පැමිණි අන් සියල්ල සුන්නාහ් වේ. අල් කුර්ආනයේ දක්නට තිබෙන නීති රීති සඳහා අවශ්‍ය විස්තර සපයා ඒවා පහදා දෙන්නේ සුන්නාවයි. තවද, මෙම නීති රීති වලට ප්‍රායෝගික පිළිපැදීම සඳහා අවශ්‍ය ආදර්ශ සපයන්නේ සුන්නාවයි.

සුන්නාහ් යනු මාර්ගය හෝ මඟ වේ. හදීස් යන අරාබි පදය සුන්නාහ්වට සමාන පදය වන නමුත් ඒ පද දෙක සර්වසම නොවේ. හදීස් යනු රසුල් (සල්) තුමාණන්ගේ ජීවිතය හෝ එතුමාණන්  අනුමත කළ හෝ තහනම් කළ සියලු වදන් හදීස් ලෙස හැඳින් වේ. එහෙත් එතුමාණන්ගේ ජීවිතයේ සිදු කළ ක්‍රියාවන් සියල්ල සුන්නාහ් ලෙස හැඳින්වේ. අල් කුර්ආනය සහ සුන්නාහ් යන දෙකම මුස්ලිම් වරයෙකුට ඉතාමත් අවශ්‍යය වේ. ඒවා දෙකම අධ්‍යයනය නොකර කෙනෙකුට ඉස්ලාම් දහම අනුගමනය කළ නොහැකි බව අල් කුර්ආන් පවසයි.

මෙහි අර්ථය කුමක්ද?

නබි (සල්) තුමාණන්ගේ යුගයෙන් අපි ඈත් වන කාලයේ ප්‍රමාණයට එකඟ ව අල් කුර්ආනය පවසන කරුණු පිළිබඳ වැරදි මත අධික වන බව අපි දකිමු. ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබන අරමුණින් කුර්ආන් වදන් හි අර්ථය විකෘති කර හෝ වෙනස් කර දැක්වීම අපි අද ලෝකයේ දකිමු. ඉස්ලාම් බිහිසුණු දහමක් යැයි චෝදනා නගන්නට කුර්ආන් වාක්‍යයන් හි අර්ථය තමන් කැමති ආකාරයට ඇතැම් කණ්ඩායම් වෙනස් කරති. තම නොදැනුවත්කම නිසා කුර්ආන් වැකි වෙනස් කර පාරායනය කරන අවිහිංසක ජනතාව ද සිටිති. කුර්ආන් වාක්‍යයන් හි අර්ථය පහදා ගැනීම, එක් එක් පුද්ගලයාගේ වටහා ගැනීමේ හැකියාවට සහ ඔහු අධ්‍යයනය කරන අරමුණට එකඟ ව වෙනස් වෙයි.

පහදා ගැනීමට ඉතාමත් පහසු වන අයුරින් දේශීය භාෂා ශෛල හතකින් අල් කුර්ආනය පහළ කරනු ලැබු නමුත් නබි (සල්) තුමාණන් ගේ කාලයේ ජීවත් වූ සහාබාවරුන් අතර පවා එම වාක්‍යයන් පිළිබඳ විවිධ තරාතිරමේ අවබෝධ පැවතුණි. එහෙත් සහාබාවරුන් දෙස බැලුවහොත්, යම් ප්‍රශ්නයක් විසඳීමට අවශ්‍ය වන අවස්ථාවන්හි ඔවුන්ද රසූල් (සල්) තුමාණන්ගේ සුන්නාහ් කෙරෙහි අවධානය යොමු කළ බව අපි දකිමු.

මෙයට එකඟ ව, තම සහාබාවරුන්ට අල් කුර්ආන් පවසන කරුණු පිළිබඳ ව තම වදනින් සහ ක්‍රියාවෙන් පහදා දීම නබි (සල්) තුමාණන් රාජකාරියක් බවට පත් විය. යනුවෙන් බිලාල් පිලිප්ස් අදහස් දක්වයි.

සංදේශකවරුන් පැමිණීමට හේතුව කමක්ද?

අල්ලාහ් සිතුවේ නම් මිනිසාට යහ මඟ පෙන්වනු පිණිස රසූල් වරුන්ගේ මාර්ගයෙන් නොව ග්‍රන්ථ පමණක් සෘජු ව පහළ කරන්නට තිබුණි. එහෙත් අල්ලාහ් මිනිසාට ග්‍රන්ථ පමණක් නොව ඒවා සමඟ රසුල්වරුන්ද එව්වේය. එලෙස, අල් කුර්ආනය සමඟ, එය නිවේදනය කිරීමට ද, පැහැදිලි කිරීමටද, නිදසුනක් වශයෙන් ජීවත් වී පෙන්වන්නට ද මුහම්මද් රසූල් (සල්) තුමාණන් ව එව්වේය.

“මිනිස් වර්ගයාට මෛත්‍රියක් වශයෙන් අති උතුම් අල්ලාහ් සත්‍ය සහිත ග්‍රන්ථයක් ද, එය පෙන්වන ආකාරයට ජීවත් වන්නේ කෙසේ දැයි පෙන්වා දිම පිණිස නිදසුනක් වශයෙන් මුහම්මද් නබි (සල්) තුමාණන්ව ද ඒ සමඟ එව්වේය.

“ඔවුන් කවර දෙයක් විෂයෙහි මත භේද ඇති කර ගත්තේ ද, එය ඔවුනට පැහැදිලි කර දෙනු පිණිස මිස අපි නුඹ වෙත පුස්තකය (අල් කුර්ආනය) පහළ නොකෙළෙමු. තවද එය විශ්වාස කරන පිරිසට මඟපෙන්වීමකි. දයාලු භාවයකි.”

16:64

අන් අය පෙන්වූ ආදර්ශයට එකඟ ව ජීවත් වීමට ප්‍රිය කිරීම මිනිස් ස්වභාවයකි. මෙයට හොඳම උදාහරණය ප්‍රකට ක්‍රීඩාකරුවන් නළු නිළියන් සහ ගායකයින් ව ආදර්ශයට ගන්නට ද ඔවුන්මෙන් හැසිරිමට ද තරුණ ළමයි දක්වන ආශාව ගැන කිව හැක. මෙලෙස අන් අය මෙන් හැසිරීමට අප තුළ තිබෙන ස්වභාවික ආශාව නිසා මිනිසුන් අතරින් උසස්තම කෙනෙක් වන මුහම්මද් (සල්) තුමාණන් ව ආදර්ශයට ගන්නට උත්සාහ කිරීමෙන් අපට බොහෝ යහපත් සිදු වනු ඇත.

මෙහි දී ඉතා වැදගත් කරුණක් සඳහන් කළ යුතුව තිබේ. එනම්, සෑම ආගමික වක්තෘවරුන් තමන්ට ආවේණික, තමන්ගේ කාලයට හා සමාජයට අදාල ජීවන මාර්ගයක් අනුගමනය කළහ. එහෙත්, ඒවා කිසිවක් සෑම සමාජයකම සෑම කාලයකම ජීවත් වන  මිනිසුන්ගේ දෛනික ජීවිතයට ගැළපෙන්නේ ද යනු මහත් අසීරු ප්‍රශ්නයකි. එම වක්තෘවරුන්ගේ ඇතැම් ඉගැන්වීම් සීමිත පිරිසකට එක්තරා අවස්ථාවන්හි පමණක් අනුගමනය කළ හැකි වන නමුත්, ඕනෑම අවස්ථාවක, ඕනෑම කෙනෙකුට අනුගමනය කළ හැකි වන්නේ අවසාන රසූල් මුහම්මද් (සල්) තුමාණන්ගේ සූන්නාහ් පමණය. මේ හේතුවෙන් අතීත නබිවරුන් හා රසූල්වරුන් තම අනුගාමිකයන්ට සුදුසු සුන්නාහ් කිසිවක් ඉතිරි කර නැති බව පැවසේ. මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව ඉතාමත් වාසනාවන්ත පිරිසක් ලෙස පිළිගත යුතුය. මන්ද, මුස්ලිම්වරුන්ට ග්‍රන්ථයක් පමණක් නොව, එයට එකඟව ජීවත්වන්නේ කෙසේ දැයි යන දැනුම පමණක් නොව, සම්පූර්ණ ඉස්ලාමීය ජීවන රටාවක් ද සුන්නාහ් මගින් පෙන්වා දී ඇති නිසාය.

Choose Your Language