අන්තර්ගතය

content

Content of article

රමදාන් උපවාසයෙන් පසු උතුම්ම උපවාසය වනුයේ අල්ලාහ්ගේ මුහම්මරම් මාසයේ ඉටු කරන උපවාසයයි. මූලාශ්‍රය සහීහ් මුස්ලිම් 1982

මෙම මාසය නව ඉස්ලාමීය වසරක ආරම්භය පමණක් නොව  මුහම්මද් (සල්) තුමාණන්ගේ හිජ්රා හෙවත් සංක්‍රමණය කිරීමෙන් දියත් කළ මුස්ලිම්වරුන්ගේ පාලනය යටතේ නිර්මාණය වූ නිදහස් ඉස්ලාමීය දේශය ද, එහි ස්ථාපිත වූ ඉස්ලාමීය රාජ්‍යය ද ආරම්භය සංකේතවත් කරයි.

උමර්  ඉබ්නු අල් කඃත්තාබ් (රළියල්ලාහු)ගේ පාලන කාලය දක්වා මුස්ලිම් වරුන්ට විධිමත් දින දර්ශකයක් නොතිබුණි. එතුමාගේ පාලන කාලයේ තුන් වන හෝ සිව් වන වසරේ දී, අබු මූසා අල් අෂ්ෂාරි (රළි) තුමාගෙන් ඔවුනතර අනාගතයේ හුවමාරු කර ගන්නා ලිපි වලට අදාල දිනය යොදා ගනිමින් තහවුරු කිරිම උචිත බව යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

අනතුරු ව කාලිෆ් වරයා,  තවමත් ජීවතුන් අතර සිටින නබි (සල්) තුමාණන්ගේ සහාබාවරුන් පිරිසක් කැඳවා මේ සම්බන්ධ ව සාකච්ඡා කළේය. ඔවුන්ගෙන් ඇතැමුන් පර්සියානුවන්ගේ පැරණි දින දර්ශකය උපයෝගි කරන ලෙස අදහස් දැක්වුහ. තවත් පිරිසක් රෝමානුවන්ගේ පැරණි දින දර්ශකය ගැන අදහස් දැක්වුහ. තවත් පිරිසක් නබි (සල්) තුමාණන්ගේ උපන් දිනය පදනම් කර ගත් මුස්ලිම් දින දර්ශකයක් යෝජනා කළහ. තවත් පිරිසක් මෙම අදහසට එකඟ වු නමුත් නබි (සල්) තුමාණන්ගේ ඉස්ලාමීය ඇරයුමේ ආරම්භය පදනම් කර ගත් දින දර්ශකයක් සුදුසු බවද, තවත් පිරිසක් නබි (සල්) තුමාණන්ගේ හිජ්රා (සංක්‍රමණය) පදනම් කර ගත් දින දර්ශකයක් සුදුසු බවද අදහස් දැක්වුහ. තවත් පිරිසක් නබි (සල්) තුමාණන්ගේ අභාවය සිදු වූ දිනය පදනම් කර ගත් දින දර්ශකයක් සුදුසු බවද යෝජනා කළෝය.

දීර්ඝ සාකච්ඡාවෙන් පසුව, නබි (සල්) තුමාණන් මක්කාවේ සිට මදීනා නුවරට සංක්‍රමණය කළ සිද්ධිය පදනම් කර ගත් ඉස්ලාමීය දින දර්ශකයක් සුදුසු බවද, එහි මාසය මුහර්රම් මස සිට ආරම්භ කළ යුතු බව ද අවසානයේ තීරණය කළෝය. මුහර්රම් යනු ශ්‍රද්ධ වූ මාසයක් වන අතර, එය ඉස්ලාම් දහමේ අවසාන කුලුනක් වන ශුද්ධ වූ හජ් වන්දනාව ඉටු කරන දුල් හිජ්ජා මාසයෙන් පසුව පැමිණෙන හේතුවෙන් මෙම තීරණය ගන්නා ලදී.

තවද මක්කාවේ මුස්ලිම්වරු මදිනාවට සංක්‍රමණය කිරිමට පෙර හජ් වන්දනාව ඉටු කිරීම සඳහා මක්කාවට පැමිණ මුස්ලිම් බවට පත් වූ අන්සාර්වරු හෙවත් මදිනා වාසීන් නබි (සල්) තුමාණන්ට පක්ෂපාතිත්වය ප්‍රකාශය දුන් පසුව මුහර්රම් මාසය පැමිණීම තවත් වැදගත් හේතුවක් විය. මෙම අවස්ථාවේ දුන් පක්ෂපාතිත්ව ප්‍රකාශයේ එක් වගන්තියක් සංක්‍රමණය සඳහා මාර්ග විවෘත කළ හේතුවෙන් ඉස්ලාමීය දින දර්ශකයේ මුල් මාසය ලෙස යොදා ගැනීම සදහා මුහම්මරම් සුදුසු මාසයක් බව සහාබාවරු එකඟ වුහ.

ඉස්ලාමය හා කිසිදු සම්බන්ධකමක් නොමැති, යුරෝපයේ භාවිත කරන ලද ග්‍රගරියන් දින දර්ශකය මුස්ලිම් වරුන්ද අද භාවිත කරති. දීර්ඝ කාලයක් භාවිතයේ තිබෙන එකම හේතුවෙන් මුස්ලිම්වරුන්ද එම දින දර්ශකය භාවිත කළ යුතු බව පැවසීම නිදහසට කරුණක් නොවේ. පර්සියානු හෝ රෝමානු දින දර්ශකයක් මුස්ලිම්වරු භාවිත කිරීම නබි (සල්) තුමාණන්ගේ සහාභාවරුන් අප්‍රිය කරනු ඇත.

මෙම අවස්ථාවේ අපි නව වසරකට පා තබා ඇත්තෙමු.

“අහස්ද පොළොවද නිර්මාණය කළ දවස - සැබැවින්ම, පුස්තකයේ මාස් දොළොසකි. එයින් සතරක් පරිශුද්ධය. එයයි නිවැරදි දහමවන්නේ. එහි ඔබ ඔබටම වැරදි නොකරවු.... ”

අල් කුර්ආන් සූරා 9:36.

මුළු මිනිස් වර්ගයාටම අල්ලාහ් විසින් පාරිශ්‍රද්ධ මාසයන් පත් කර ඇත. ඒ බව උත්තරීතර අල්ලාහ් අල් කුර්ආනයේ සඳහන් කරන්නේ මෙසේය.

“අහෝ මුහම්මද්! ඔවුහු නව සඳ ගැන නුඹගෙන්  ප්‍රශ්න කරති. මනුෂ්‍යයන්ටද හජ් (ගමනට)ද කාල සටහන මෙය (බව පවසනු) ”

අල් කුර්ආන් 2:189.

මෙයට එකඟව, සඳ පදනම් කර ගත් දින දර්ශකයේ මෙම මාස හතර අරාබි ජාතින්ට පමණක් නොව සියලු මිනිස් වර්ගයාටම පත් කරන ලද බව අපි දනිමු. නව සඳ දැකීමේ ක්‍රියාවෙන් සඳ පදනම් කර ගත් මාසයේ ආරම්භය සහ අවසානය පහසුවෙන් ගණන් බැලිය හැකි වීම මෙයට හේතුවකි.

අපි දැන් නව හිජ්රි වසරක සිටිමු. එහෙත් නව වසර සඳහා උත්සව පැවැත්වීම හෝ එකිනෙකාට සුබ පැතීම් හෝ නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ්වක් නොවන බව මතකයේ තබා ගත යුතුය. මුස්ලිම් වරයෙකුට පසු කරගෙන යන වසර ගණන සතුටු වීමට හේතුවක් බවට පත් නොවන්නේය. එහෙත් වැදගත් වන්නේ පසුගිය වසර තුළ අල්ලාහ්ගේ අණට එකඟ ව කොපමණ කාලයක් අපි වැය කළා ද යන කරුණු පමණි. පසුගිය කාලය සාර්ථක බව සැලකිලි ලබන්නේ එම කාලය අල්ලාහ්ගේ අණ සහ ආඥාවට එකඟ ව වැය කළේ නම් පමණි. එසේ නොමැති ව අල්ලාහ්ගේ අණට එරෙහි ව එම කාලය වැය වුයේ නම්, එය ඉතාමත් අභාග්‍ය කාලයක් බව සැලකේ. එනිසා දීර්ඝ කාලයක් ජීවත් වී එම ජිවිත කාලය පුරාම පාප ක්‍රියාවන්හි යෙදුනු පුද්ගලයෙක් ඉතාමත් අයහපත් පුද්ගලයෙකු බව සඳහන් වේ.

සෑම වසරක ආරම්භයේ දී මුස්ලිම්වරු බොහෝ දෙනෙක් තමන්ගේ ඉස්ලාමීය ජීවිතය වර්ධනය කර ගැනීමට සහ අල්ලාහ්ට සමීප වීම සඳහා වෑයම් කරන බවට දැඩි තීරණයක් ගන්නා නමුත් ටික කලකින් ඒවා ගැන අමතක කර දමන අතර ඔවුන්ගේ ක්‍රියාවන්හි කිසිදු වර්ධනයක් සිදු වන්නේ නැත. එහි අනිවාර්‍යය ප්‍රතිපලයක් වශයෙන් මෙලොව සහ මරණයෙන් පසුව ඔවුන්ට නින්දාවට පත්වන්නට සිදු වේ. එනිසා අපගේ කාලය අල්ලාහ්ට අවනත වීමේ ක්‍රියාවන් සඳහා යොදමින් වර්ෂයක් පාසා අපගේ ධාර්මික තත්ත්වය වර්ධනය කර ගැනීමට වෑයම් කළ යුතුය. ගෙවී යන කාලය සමඟ සොහොන කරා අප සමීප වන බව අපට අමතක වන එක් විශේෂ කරුණකි.

අපගේ ධාර්මික ජීවිතයේ වර්ධනයක් සිදු නොවන්නේ නම් අපගේ ලෞකික ජීවිතයේ සිදු වන වර්ධනයෙන් අපට කිසිදු පලක් නැත. විශ්වයේ අධිපතිට යටත් පහත් නොවී, කිසිවෙකුට ගෞරවය සහ උසස්භාවය ලැබිය නොහැක.

අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන්ගේ ආදර්ය අනුගමනය නොකර කිසිවෙකුට ආරක්ෂාව, ශාන්තභාවය සහ අභිවෘද්ධිය වෙත ළඟා විය නොහැක. ඔබ අතර කිසිවෙක් පාප ක්‍රියා සහ වැරදි මාර්ග තුළින් ඔහුගේ ජිවිතයේ අභිවෘද්ධිය සහ සතුට ලැබෙන බව දකින්නේ නම් එය උත්තරීතර අල්ලාහ් විසින් ඔහුට කෙටි කාලයකට අවකාශයක් ලබා දී තිබීමේ හේතුවෙන් පමණි. එනිසා අල්ලාහ්ගේ වේදනීය දණ්ඩනයෙන් රැකවරණය ලබනු පිණිස අල්ලාහ්ට අවනත වීමෙහි ඉතා ස්ථාවර ව සිටිය යුතුය.

“නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස නුඹලා සියල්ලෝම අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමු වනු.”

24:31.

තවද, ඇතැම් මාසයන්, දිනයන් සහ රාත්‍රියන් අනිකුත් (එවැනි) කාල වකවානුවට වඩා අධික අනුග්‍රහ ලැබු බව අල්ලාහ් පත් කර ඇත. අහස් සහ මිහිතලය මවන කල්හි මාස ගණන දොළොහක් බව අල්ලාහ් නිර්ණය කළේය. ඒවා අතර දුල් කඅදා, දුල් හිජ්ජා සහ මුහර්රම් නම් එකිනෙකට සමීප ව පැමිණෙන මාසයන් සහ රජබ් මාසය ද ශුද්ධ වු මාසය බවට අල්ලාහ් පත් කළේය. හිරු උදා වන සෑම දින අතර ශ්‍රේෂ්ඨතම දිනය සිකුරාදා දිනය වේ. එමෙන්ම මාස දහසකට වඩා අල් කද්ර් නම් රාත්‍රිය යහපත් වේ. එ නිසා අල්ලාහ් වර්ණනා කළ සියලු දේ අපි ද වැදගත් ලෙස සැලකිය යුතුය.

මිනිසාගේ කුසල් ක්‍රියාවන්, ආශීර්වාද ලත් ඇතැම් අවස්ථාවන්හි සහ ඇතැම් ස්ථානයන්හි සිදු කරන විට ඒවා සඳහා විවිධ ගුණයෙන් වැඩි කර අල්ලාහ් ත්‍යාගය දෙන බව මුස්ලිම් විද්වතුන් අදහස් දක්වති. එමෙන්ම එම ශ්‍රේෂ්ඨ අවස්ථාවන්හි සහ ස්ථානයක්හි අකුසල් සිදු කළේ නම්, ඒ අයුරින් ම අල්ලාහ් දඬුවම් දෙන බව මෙම විද්වතුන් පවසති.

මේ බව අල්ලාහ් අල් කුර්ආනයේ සඳහන් කරන්නේ මෙලෙසය.

“ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වීමත් ඔහු(අල්ලාහ්) හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අබියස  (ඊටත් වඩා) අති මහත් පාපයකි (බව පවසන්න). තවද කලහකම ඝාතනයට වඩා අති මහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ වෙත් නම් නුඹලාගේ දහමින් නුඹලා ව නැවත හරවන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නොවන්නෝමය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපක යෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහුමය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහුමය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.”

අල් කුර්ආන් 2:217.

මේ හේතුන් නිසා මුස්ලිම්වරු මෙම මාසයන් හි තමන්ටම වැරදි නොකර ගත යුතුය. අල්ලාහ් විසින් සටහන් කර දුන් සීමාව තුළ රැඳී සිටිය යුතුය, අල්ලාහ් නියම කළ වගකිම් සියල්ල ඉටු කළ යුතුය, අල්ලාහ් තහනම් කළ සියලු ක්‍රියාවන්ගෙන් ඈත් ව  සිටිය යුතුය. තවද සෙසු ජනතාවගේ අයිතීන්ට හා වගකීම්වලට ගරු කළ යුතුය.

නිමි

අදහස්