අන්තර්ගතය

content

Content of article

මුස්ලිම් සහ මුස්ලිම් නොවන අය එකතු වී සමාජයක් සාදන අතර ඔවුන් විවිධ මාර්ග අනුගමනය කරන නමුත්, ඔවුන් ඉවසිලිවන්ත ව හා එකිනෙකාට අන්‍යෝන්‍යව ගරු කරන්නේ නම්, ඔවුන්ට සාමයෙන් ජිවත් විය හැක. මුස්ලිම්වරයෙකුගේ ජීවිතය ඒක දේව විශ්වාසය මත සම්පූර්ණයෙන්ස රැඳී පවති.  එමෙන්ම අන් අය කෙරෙහි ඔහු ගේ ආකල්පය, ඔවුන් අල්ලාහ් කෙරෙහි දක්වන ආකල්පය මත රැඳී ඇත. කෙසේ වෙතත්, මුස්ලිම් වරයෙක් මුස්ලිම් නොවන ජනතාව සමඟ ඉතාමත් යුක්ති ගරුක ප්‍රතිපත්ති පදනම් කර ගෙන ක්‍රියා කළ යුතුය.

රණ්ඩු දබර නොකරන, මුස්ලිම් නොවන ජනතාව සමඟ අපගේ හැසිරීම කෙසේ විය යුතු දැ යි අල්කුර්ආනය පවසන්නේ මෙසේය.

“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හට ද නුඹලා ව නුඹලා ගේ නිවෙස් වලින් බැහැර නොකළවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම අල්ලාහ් නුඹලාට වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.”

සූරා 60:8

මුස්ලිම් නොවන ජනතාව සමඟ වෙළඳ ගනු දෙනු කිරීම, කුලියට යාන වාහන, ගොඩනැගිලි ලබා ගැනීම වැනි කටයුතු වල මුස්ලිම් වරයෙක් නිරත විය හැක. ආහාර සඳහා, රැස්වීම් වැනි සමාජීය මට්ටමෙහි පවා අන්‍යෝන්‍ය ක්‍රියාවන්හි සහභාගි විය හැක. කෙසේ වෙතත් සමාජීය සහ චාරිත්‍ර වෙනස්කම් මත මෙවැනි අවස්ථාවන් හි සීමාවන් තිබෙන බව සලකන්න. මුස්ලිම් නොවන අය සමඟ ආශ්‍රය කරන මුස්ලිම් වරයෙකු ගේ අරමුණ, ඔවුන් ඉස්ලාම් තුළට පිවිසීම සඳහා මාර්ග විවෘත කර, ඔවුන සමඟ ආදරය සහ සහෝදරත්වය ස්ථාපිත කිරීම වේ. ඇතැම් මුස්ලිම් නොවන අය ඉස්ලාමයට එරෙහි ව සහ අසභ්‍ය අදහස් සහිත කෙනෙක් විය හැකි නමුත්, ඔහු තුළ තිබෙන අයහපත් අදහස් ඉවත් කරනු පිණිස යහ ගුණය යෙදිය යුතු බව මුස්ලිම් වරුන් දැන ගත යුතුය.

මේ පිළිබඳ ව අල්ලාහ් පවසන්නේ මෙසේය. “යහපත හා අයපහත සම නොවන්නේය. (එබැවින්) කවරෙක් යහපත් වන්නේ ද එයින් (අයහපත) වළක්වවු. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම තිබුණේ ද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.”

සූරා 41:34.

ෂෙයික් බින් බාස් ප්‍රකාශ කළේ කෙසේ දැ යි බලන්න. “මුස්ලිම් වරුන්ට එරෙහි ව සටන් නොවදින මුස්ලිම් නොවන ජනතාව සමඟ ඉස්ලාමිය ඉගැන්වීම් වලට එකඟ ව නිසියාකාර ව හැසිරීම මුස්ලිම් වරුන්ට අනිවාර්ය ක්‍රියාවකි. ඔවුන්ට ඉටු කළ යුතු වගකීම ඉටු කළ යුතුය, ඔවුන් ව මුළා නොකළ යුතුය. ඔවුන් ව පාවා දීම හෝ ඔවුන් ට අසත්‍ය පැවසීම හෝ නොකළ යුතුය. ඔවුන් සමඟ සංවාදයක් හෝ සාකච්ඡාවක් පවත්වන්නේ නම්, ඉතාමත් අලංකාර ව හා සාධාරණ ව ආරාවුල විසඳීමට ක්‍රියා කළයුතුය. මෙලෙස සිදු කරන්නේ අල්ලාහ් ගේ අණ ට එකඟ ව බව මතකයේ තබා ගත යුතුයි.

“දහම ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවු.”

සූරා 29:46.

යහපත කෙරෙහි ඔවුන්ට ඇරයුම් කරීම, ඔවුන් ට උපදෙස් දීම සහ ඔවුන් සමඟ ඉවසිමෙන් කටයුතු කිරීමෙන් අසල්වැසිකම සහ විනීතකම රැක ගැනීමට මුස්ලිම් වරුන්ට අනුමැතිය ඇත. මේ බව අල්ලාහ් පවසන්නේ මෙසේය.

“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මගින් ද නුඹගේ පරමාධිපත්ගේ මාර්ගය වෙත ඇරයුම් කරවු. තවද, කවර දෙයක් යහපත් වන්නේ ද එමගින් ඔවුන් සමඟ වාද කරවු.”

සූරා 16:125


අල්ලාහ් මෙසේ ද පවසා ඇත. “තවද, ජනයාට යහ වදනින් අමතනු”

සූරා 2: 83.

මුස්ලිම් නොවන සමාජයක ජීවත්වීම

මුස්ලිම්වරයෙක් මුස්ලිම් නොවන සමාජයක ජීවත් වීමට තීරණය කරන විට, එහි හරය වන්නේ ඔහු එම දේශයේ නීති රීති වලට එකඟ වන බව ඒම දේශය සමඟ ගිවිසුමක් කර ගනී. මුස්ලිම් නොවන දේශයක ජීවත් වන තමන් මුස්ලිම්වරයෙකු යන එකම හේතුවෙන් එම දේශයේ නීති රීති වලට පටහැනි ව කටයුතු කිරීමට ඔහුට අයිතියක් නැත. ඒ බැවින්, මෙහි සඳහන් යහපත් හැසිරීම පිළිබඳ ප්‍රතිපත්ති සියල්ල ඔහු කුමන රටක ජීවත් වුවත්, ඔහුට අදාළ වන බව සලකන්න. මුස්ලිම්වරයෙකුට තහනම් බොහෝ දේවල් බොහෝ දේශයන්හි  රජය විසින් අනුමත කර තිබිය හැක. මෙවැනි විෂයන් ගැන මුස්ලිම් වරයෙක් මඟ හැරිය යුතුය. එහෙත් ඉස්ලාමය තහනම් කළ දේ ඉටු කරන ලෙස තමන්ට බලපෑම් කිරීමෙන් ඔහු නෛතික අයිතිවාසිකම් යටතේ ඉල්ලීම් කළ හැක. සමස්තයක් වශයෙන් ඔහු නීති ගරුක පුරවැසියෙක් ලෙස එම සමාජයේ ජීවත් විය යුතුය.

මීට අමතර ව, මුස්ලිම්වරයෙක් තමා ජීවත් වන සමාජයට ඵලදායික පුරවැසියෙක් බවට පත් විය යුතුය. ඉහත සදහන් අයුරින්, ඔහු යහපත් අසල් වැසියෙක් විය යුතුය. ඔහු කොතැනක ජීවත් වූවත්, යහ දේ අණ කර, අයහපත් දේ තහනම් කිරීමේ වැඩ පිළිවෙල ඉටු කිරීමට ඔහු බැඳී සිටීයි. අවසාන වශනේ, සමාජයේ සියලු සාමාජිකයන් සමඟ කරන සියලු ගණුදෙනුවෙහි  ඔහු විනය ගරුක ව හා සාධාරණ ව ක්‍රියා කළ යුතුය. තමන් උපත ලැබ, හැදී වැඩුණු දේශයට කවුරුත් ආදරය දක්වන සහ ඇලුම් කරන බව ඉස්ලාම් පිළිගනී. බහුදේව වන්දනා කරුවන්ගේ පාලනය යටතේ තිබු මක්කාවෙන් සංක්‍රමණය කරන ලෙස බලපැමට ලක් වූ මුස්ලිම්වරු බොහෝ දෙනෙක් එම නගරයට තම ආදරය ප්‍රකාශ කළහ. මෙයට එකඟ ව, මුස්ලිම්වරු කුමන ස්ථානයක ජිවත් වූවද - එය මුස්ලිම් නොවන ස්ථානයක් වුවත්, තමන් හැදී වැඩුණු එම ස්ථානයට ආදරය දැක්වීම ස්වභාවිකය. එමෙන්ම, තමන් ජීවත් වන මව් බිමට යහපතක් සිදුවිය යුතු යැයි මුස්ලිම්වරු පැතීම පුදුමයක් නොවේ. එහෙත්, තම දේශයට යහපත් වන්නේ කුමක් දැ යි ඔවුන්  සලකන කරුණු වලට අන් අය එකඟ නොවිය හැක. නිදසුනක් වශයෙන්, මුස්ලිම්වරයෙක් සූදු කෙළීම, ගණිකා වෘත්තිය සහ මාධ්‍ය මගින් අසභ්‍ය හැසිරීම ප්‍රචාර කිරිමට වැනි සමාජ පීඩා වලට නිමාවක් දැකිය යුතු යැයි අදහස් දැක්විය හැක. නමුත් මුස්ලිම් නොවන විශාල බහුතරයක් මෙවැනි අදහස් වලට එකඟ නොවිය හැක.

 පොදුවේ පවසන්නේ නම්, වර්තමාන නිදහස් සමාජයන්හි, මෙවැනි සමාජීය රෝගය ප්‍රශ්නයක් බව නොසැලකේ. මෙවැනි වාතාවරණයක, සමාජයේ මුස්ලිම් නොවන පිරිස මුස්ලිම් නොවන දේශයන්හී චාරිත්‍ර අනුගමනය කළ හැකි නමුත්, එවැනි හැසිරීමට හානියක් සිදු නොවන අයුරින්, මුස්ලිම්වරුන් තමන්ට අයත් චාරිත්‍ර හා සාර ධර්මයන් අනුගමනය කළ යුතුය. ඇතැම් නිදහස් දේශයන්හි මෙවැනි සහනයක් පවා මුස්ලිම්වරුන්ට නොදෙන්නේ නම්,  (මුස්ලිම් නොවන) ඔවුන් තම තමන්ගේම ආගමික ආදර්ශයට එකඟ ව ජිවත් වීමට සුදානම් නැති බව පැහැදිලි වේ.

බහු වාර්ගික සමාජයන්හී පවා,  සමාජ සංගතියට ඉස්ලාමීය ඉගැන්වීම් බොහෝ සේ දායකවනු ඇත. පළමුව, එවැනි සංහතියට බාධාවක් වන ජාතිවාදය සහ වැරදි අවබෝධය ඉවත් කළ යුතුය. දෙවනුව ඉස්ලාමීය බැතිමතුන් අතර ශක්තිමත් බැඳීමක් සහ මිත්‍රත්වයක් ගොඩ නැගිය යුතුය. දෙවනුව, මෙම බැඳීමට බැහැර ව සිටින ජනතාවට සාධාරණ සහ ශිෂ්ට සම්පන් හැසිරීම තුළින් සැලකිලි දැක්විය යුතු ක්‍රමවේදය පිළිබඳ ව තීරණාත්මක උපදෙස් දිය යුතුය. සිව්වැනිව මුස්ලිම්වරයෙක් තමා අවට ජිවත් වන ජනයා වෙත තමන්ට පවරා තිබෙන වගකිම හොඳ හැටි දනී. එනිසා ඔහු සෑම කෙනෙකුගේම යහපත උදෙසා තමාට හැකි අයුරින් ඒවාට දායකයෙකු වී, එමගින් සමාජයේ සියලු දෙනා අතර යහපත් හැඟීම් සහ සමාජය තුළ බැඳීමක් සිදු කරයි.

නිමි

අදහස්