අන්තර්ගතය

content

Content of article

වුයේ නැත. එ වෙනුවට, ඔවුන් දිගු කාලයක් බලා පොරොත්තුවෙන් සිටි සත්‍යය හඳුනා ගැනීමෙන් ඔවුන් සෑහීම ට පත්වීමෙන් අනතුරුවයි. 14 වන ශත වර්ෂයේ ජීවත් වූ ක්‍රිස්තියානු ආගමික විද්වතෙකු සහ පාදිලි වරයෙකු වන ඇන්ස්ලම් තොර්මීදා එ වැනි කෙනෙක් වන අතර, එතුමා ගේ ජීවිත කතා ව දෙස බැලීම උචිතය. “ක්‍රිස්තු බැතිමතුන් ගේ තර්කය බිඳ දමනු පිණිස බුද්ධිමතුන් ට තිළිණයක්.” (A Gift to the Intelligent for Refuting the Arguments of the Christians) නම් වැදගත් ග්‍රන්ථය එතුමා රචනා කළේය. පසු කාලයේ දී අබු මුහම්මද් අබ්දුල්ලාහ් ඉබ්නු අබ්දුල්ලාහ් අල් තර්ජුමාන් යනුවෙන් හැඳන් වනු ලැබු එතුමාගේ කතාව ට සවන් දෙමු.

මම උපත ලැබුවේ ස්පාඤ්ඤ දේශය ට අයත් මාර්ජෝකා දූපතේ මුහුදු වෙරළේ තිබෙන මාර්ජෝකා නම් ප්‍රසිද්ධ නගරයෙහි ය. කඳු දෙකක් අතර කුඩා මිටියාවතේ පිහිටි එම නගරය වෙළඳ මධ්‍යස්ථානයකි. එහි වරාය දෙකක් තිබේ. එම දූපතේ අත්ති සහ ඔලිව් ගස් බොහෝ සරුව ට පිරී තිබේ. මගේ පියාණන් නගරයේ ගෞරවය ලත් කෙනෙක් වූ අතර, මම පවුලේ එකම පුත්‍රයා වෙමි.

මට වයස අවුරුදු හය වන විට, ගොස්පලය සහ තර්ක ශාස්ත්‍ර ඉගෙන ගනු පිණිස පාදිලි වරයෙකු වෙතට යවනු ලැබ, සය අවුරුද්දෙන් එය අවසන් කළෙමි. අනතුරු ව  කැස්ටිලියන් පළාතේ ක්‍රිස්තු බැතිමතුන් ගේ අධ්‍යාපන මධ්‍ය ස්ථානයක් වන ලාර්ඩා නුවර ට ගියෙමි. එහි 1000 සහ 1500 පමණ සිසුන් පිරිසක් සිටි අතර, සියලු දෙනාට පාඩම් උගන්වන පාදිලිවරයෙකු ගේ පාලනය යටතේ සිටියෙමි. එහි දී ගොස්පලය සහ එහි භාෂාව සිව් වසරක් ඉගෙන ගෙන අන්බර්දියා පළාතේ බොලොන්  නුවර ට ගියෙමි. අති විශාල බොලොන් නුවර අන්බර්දියා පළාතේ සෑම කෙනෙකුට ම අධ්‍යාපනය සඳහා වූ මධ්‍යස්ථානයකි. සෑම වසරකම විවිධ තැන් වලින් පැමිණෙන 2,000 කට අධික ශිෂ්‍යයින් එහි රැස් වෙති. “දෙවියන් ගේ පැහැය” යනුවෙන් ඔවුන් නම් කළ ගොරෝසු ඇඳුමින් තමන් ව ආවරණය කර ගනිති.

කම්කරුවෙකු ගේ පුත්‍රයෙකු හෝ රාජ කුමාරයෙකු හෝ  වේවා, ඔවුන් සියලු දෙනාම තමන් ශිෂ්‍යයන් බව අන් අයට පෙන්වනු පිණිස, මෙම ගොරෝසු රෙද්දෙන් ආවරණය කර ගනිති. ඔවුන් ට උගන්වන්නේ, පාලනය කරන්නේ සහ මඟ පෙන්වන්නේ පාදිලි වරයා පමණි. එම දේව ස්ථානයේ මහලු පාදිලි වරයෙකු සමඟ ජීවත් වුයෙමි. එතුමා ගේ දැනුම, ආගමට දැක් වු ළැදියාව සහ තාපස භාවය සඳහා ජනතාව එතුමා ට ගෞරවය දැක්වුහ. අනිකුත් ක්‍රිස්තියානු පාදිලි වරුන්ගෙන් එතුමා කැපී පෙනුණි. විවිධ ප්‍රශ්න වලට විසඳුම් සහ උපදෙස් පතා විවිධ ස්ථානවලින් රජ වරුන් සහ පාලකයින්ගෙන් ඉල්ලීම් පැමිණි අතර ඒ ඉල්ලීම් සමඟ තෑගි බෝග ද එවන ලදී. එතුමාට යවන තෑගි බෝග භාර ගෙන තමන් ට ආශීර්වාද කරනු ඇතැ යි ඔවුහු බලා පොරොත්තු වුහ. මෙම පාදිලි වරයා ක්‍රිස්තු දහමේ මූල ධර්මය සහ එහි නීති රීති පිළිබඳ ව මට ඉගැන් විය.මේ පාදිලි වරයා ට සේවය කරමින් සහ එතුමා ගේ රාජකාරිය ට සහය වීමෙන් මම එතුමා ට බොහෝ සමිප වුයෙමි. එතුමාගේ නවාතැන සහ ආහාර පාන ගබඩාවේ යතුර පවා මට එතුමා භාර කළේය. එතුමා නිදා ගන්නා කුටියේ යතුර පමණක් එතුමා සතු ව තබා ගත්තේය. තම මුදල් පෙට්ටිය එහි තබා ගත් බව මම සැක කළෙමි. සියල්ල දන්නේ අල්ලාහ් පමණි.  එතුමා ගේ ශිෂ්‍යයෙකු සහ සේවකයෙකු ලෙස වසර දහයක්  සේවය කළ අතර, අසනීපය ට පත් වු එතුමා දිනක් පාදිලි වරුන් ගේ රැස්වීම ට නොපැමිණීය.

එතුමා නොපැමිණි දිනයන් හි අනිකුත් පාදිලි වරු ආගම පිළිබඳ සාකච්ඡාවෙහි යෙදුනු අතර, උත්තරිතර දෙවියන් වහන්සේ “ඔහුට පසු ව පැරක්ලිට් නමැති වක්තෘවරයෙක් පැමිණෙන බව පවසන ගොස්පලයේ වාක්‍ය පිළිබඳ ව සාකච්ඡා කළහ. මෙම විෂය පිළිබඳ ව සහ එම වකතෘවරයා කවුරුන් දැයි  ඔවුනතර දීර්ඝ ලෙස විවාද සිදු විය. සෑම කෙනෙකුම තම තමන් ගේ දැනුම සහ අවබෝධය ට එකඟ ව අදහස් දැක් වු නමුත් අවසානයේ කිසිදු එකඟත්වයක් නොමැතිව ඔවුන් විසිරී ගියහ. මගේ පාදිලි තුමා වෙත ට මම ගිය විට එතුමා පුරුදු පරිදි දවසේ සිදුවීම් පිළිබඳ ව විමසීය. සාකච්ඡාව පිළිබඳ ව විස්තර කර, එකඟත්වයකින් තොරව සියලු දෙනාම විසිරී ගිය බව මම දැන්වුයෙමි.

“ඔබේ පිළිතුරු කුමක් දැ?” යි එතුමා මගෙන් විමසුවේය. පොදුවේ පිළි ගත් මතයක් මම සඳහන් කළෙමි. එවිට එතුමා ඇතැම් පාදිලි වරුන් මෙන් මම නිවැරදි බව ද, අන් අය වැරදි බව ද පැවසීය. “එහෙත් සත්‍යය මේවා සියල්ල ට වඩා වෙනස් ය. එය ට හේතුව එම උතම් නාමය පිළිබඳ දැනුම ආගම ගැන හොඳ අවබෝධ සහිත කිහිප දෙනෙක් පමණක් දනිති. අපහට ලැබී තිබෙන්නේ සීමිත දැනුමයි.” යනුවෙන් එතුමා පැවසීය.

“ගුරුතුමණි! මම ඈත පළාතක සිට මෙහි පැමිණියෙමි. ඔබ තුමා ගේ සේවය සඳහා  වසර දහයක් කැප කර, මිල කළ නොහැකි දැනුම ලැබුවෙමි. එනිසා විශේෂ සැළකිල්ලක් වශයෙන් මට එම නාමයේ සත්‍යය කියා දෙන්න.” යැයි එතුමා ගේ පාමුල වැටී පැවසුවෙමි. මා දෙස බලා කඳුළු සැලු එතුමා, “පුතේ, දෙවියන් මත දිවුරා කියමි. මට සේවය කිරීම සඳහා ඔබේ කැපවීම නිසා ඔබ මට බොහෝ සමීප වු කෙනෙකි. මෙම උතුම් නාමය දැන ගන්න. එයින් විශාල යහපතක් ඇති නමුත් එයින් විශාල අනතුරක් ද ඇත. ඔබ මෙම සත්‍යය දැනගත් බව ක්‍රිස්තියානුවන් ට ආරංචිවුයේ නම්, ඔවුන් ඔබ ව වහාම ඝාතනය කරනු ඇත.” යනුවෙන් පැවසීය. “ගුරුතුමණි! දෙවියන් ගේ නාමයෙන් සහ ගොස්පලය මත සහ එය පහළ කළ දෙවියන් ගේ නාමයෙන් ඔබ පවසන කිසිවක් කිසිවෙකු ට නොකියමි. එය මගේ හදවත තුළ තබා ගන්නෙමි.” යැයි පොරොන්දු වුයෙමි.

එවිට එතුමා, “පුතේ ඔබේ දේශයෙන් ඔබ මෙහි පැමිණි විට, එය මුස්ලිම් වරුන් ජීවත් වන පළාත ට සමීප ව තිබේ ද? ඔවුන් නුඹලාගේ පළාත ට කඩා වදිනවා ද? නුඹලා ඔවුන් ගේ පළාතට කඩා වදිනවා ද? යනුවෙන් ඔබෙන් විමසුවෙමි. මම එසේ ප්‍රශ්න කළේ ඔබ තුළ ඔවුන් කෙරෙහි වෛර තිබෙනවා දැයි දැන ගැනීමට යි. පුතේ දැන ගනු. පැරක්ලීට් යනු ඔවුන් ගේ මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ නාමයයි. එතුමාණන් ට දානියෙල් විසින් සඳහන් කරන ලද සිව් වන ග්‍රන්ථ ය පිරිනමා ඇත. ගොස්පලය සඳහන් පැහැදිලි මාර්ගය එම නබි තුමාණන් ගේ මාර්ගයයි.” යනුවෙන් පැවසුවේය. “එසේ නම් ගුරු තුමණි, මෙම ක්‍රිස්තියානුවන් ගේ ආගම පිළිබඳ ව ඔබ තුමා කුමක් පවසන්නේ දැ?” යි විමසුවෙමි.

එවිට එතුමා, “පුතේ, මේ ක්‍රිස්තියානුවන්  ජේසුස් වහන්සේ ගේ මුල් ආගම මත සිටියේ නම්, ඔවුන් දෙවියන් වහන්සේ ගේ ආගමේ සිටිනු ඇත. එයට හේතුව, ජේසුස් වහන්නේ ගේ සහ සියලු වක්තෘවරුන් ගේ ආගම දෙවියන් වහන්සේ ගේ ආගම යයි. එහෙත් එය වෙනස් කර ඔවුන් විශ්වාස නොමැත්තන් බවට පත්වුහ.” යැයි පැවසීය. “එසේ නම් ගුරු තුමණි, මගේ ගැලවීමේ මාර්ගය කුමක් ද?” යි විමසුවෙමි. එයට එතුමා, “ ඉස්ලාමය වැලඳ ගැනීමයි පුතේ” යනුවෙන් එතුමා කීවේය. “ඉස්ලාමය වැලඳ ගත් කෙනෙක් ආරක්‍ෂා ලබන්නේ දැ?” යි විමසුවෙමි. “ඔව්. මෙලොවේ සහ මතු ලොවේ.” යැයි එතුමා පිළිතුරු දුන්නේය. “ගුරු තුමණි, ප්‍රඥාවන්තයෙක් තමා ට අවශ්‍ය දේ තොරා ගනී. ඉස්ලාමයේ කුසල් දැන සිටියේ නම්, ඔබ තුමා එසේ නොකිරීම ට හේතුව කුමක් දැ? ” යි විමසුවෙමි.

එතුමා දීර්ඝ ලෙස මට පිළිතුරු දුන්නේ මෙසේය. “පුතේ, මම මහලු වී, මගේ ශරීරය දුර්වල තත්ත්වය ට පත් වන තුරු ඉස්ලාම් පිළිබඳ හෝ ඉස්ලාමයේ නබි තුමාණන් පිළිබඳ හෝ දැනුම අල්ලාහ්ගෙන් මට හෙළි වුයේ නැත. මට කිසිදු සමාවක් නැති බව නම් සැබෑ ය. එහෙත් අපට එරෙහි ව අල්ලාහ් ගේ සත්‍යය දැන් ස්ථාපිත වී අවසානයි. ඔබ මෙන් තරුණ වියෙහි මම පසු වන විට දෙවියන් වහන්සේ මේ දෙසට මට මාර්ගය විවෘත කර තිබුණේ නම්, සියලු දේ අත හැර දමා සත්‍ය ආගම මට පිළිගන්න ට තිබුණි. සෑම පාපයන් හි ප්‍රධාන හේතුව මෙලොව කෙරෙහි තිබෙන ආශාව යි. ක්‍රිස්තියානුවන් මට දක්වන ගෞරවය, උසස් තත්ත්වය දෙස ද මගේ පොහොසත් හා සැප පහසු ජීවිතය දෙස බලන්න. මෙවැනි තත්ත්වයේ මම ඉස්ලාමය ට නැඹුරු වන බව සුළු ඉඟියක් හෝ පෙන් වු විගස ඔවුන් මා ඝාතනය කර දමති. මේ සමාජයෙන් ගැල වී, මුස්ලිම් සමාජයක ට යෑම ට හැකි වුවවොත්, “නුඹ මුස්ලිම් බව ට පත් වීම අපට කළ සහනයක් යැයි නොසිතනු. සත්‍යය ආගම ට පිවිසීමෙන් අල්ලාහ් ගේ දඬුවමින් රැකවරණය තිබෙන නිසා සැබැවින් ම සහනයක් ලැබුණේ නුඹටමයි.” යනුවෙන් ඔවුන් මට පවසති. මේ හේතුවෙන් වයස අවුරුදු 90 පසු කළ මම ඔවුනතර මහලු දුප්පත් මිනිසෙක් වශයෙන් ජිවත් වන්න ට සිදු විය හැක. ඔවුන් ගේ භාෂාව නොදන්නා මම ආහාර පවා නොමැතිව සාගින්නේ මිය යනු ඇත. සියලු ප්‍රශංසා අල්ලාහ් ට හිමි වේවා. මම ජේසුස් වහන්සේ රැගෙන ආ අල්ලාහ් ගේ දහමේ සිටිමි. ඒ බව අල්ලාහ් දනී.”

මෙයට සවන් දුන් මම අවසානයේ, “මුස්ලිම් දේශයක ට ගොස් ඔවුන් ගේ ආගම ට පිවිසෙන ලෙස ඔබ තුමා මට උපදෙස් දෙනවාදැ?” යි විමසුවෙමි. එයට එතුමා, “පුතේ, ඔබ ඥාන වන්තයෙක් නම්, ආරක්‍ෂා ලබන්න ට බලාපොරොත්තුවන්නේ නම්, මෙලොව සහ මතු ලොවේ ජය ගත හැකි මාර්ගය කරා දුව ගෙන යන්න. නමුත්, මේ කතාව අප දෙදෙනා අතර පමණක් සිදු වු එකකි. එනිසා මෙය රහසිගත ව තබා ගනු පිණිස සෑම අයුරින් උත්සාහ දරන්න. මේ ගැන අන් අය දැන ගත්තේ නම්, ඔවුන් නුඹ ව ඒ මොහොතේ ම ඝාතනය කර දමති. ඔවුන් ට එරෙහි ව නුඹ ට කිසිදු සහයක් නැත. ඉස්ලාම් පිළිබඳ ව මගෙන් දැන ගත් බව හෝ මම උපදෙස් දුන් බව හෝ ඔවුන් ට පැවසුවත් මම එය ප්‍රතික්ෂේප කරන නිසා එයින් නුඹට රැකවරණයක් නැත. මේ සමාජය ඔබට එරෙහි ව මගේ වදන විශ්වාස කරති. එනිසා කුමක් සිදු වුවත් කිසිවක් නොපවසනු.” යැයි  මට අවවාද කළේය. එවැනි කිසිවක් නොකරන බව මම පොරොන්දු වුයෙමි.

අල්ලාහ් ගේ ආශීර්වාදයෙන් මම මුස්ලිම් බවට පත් වුයෙමි

මම දුන් පොරොන්දුවෙන් මගේ ගුරුවරයා සෑහීම ට පත් විය. එතුමා මා වෙනුවෙන් ප්‍රාර්ථනා කර, මට රන් දිනාර් 50 දුන්නේය. මගේ ගමන ට සූදානම් කර එතුමාගෙන් සමු ගත්තෙමි. මගේ උපන් නගරය ට හැරී පැමිණ මාස හයක් මගේ දෙමාපියන් සමඟ ජීවත් වුයෙමි. පසුව සිසිලි දේශය ට ගොස් මුස්ලිම් වරුන් ගේ දේශය ට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් මාස පහක් රැඳී සිටියෙමි. අවසානයේ ටියුනිසියා දේශය කරා යන නැවක හිරු බසින්නට පෙර නැඟ දෙවැනි දින දහවල් ටියූනිසියාව ට ළඟා වුයෙමි. මම නැවෙන් ගොඩ බැසු විට, මගේ පැමිණීම ගැන ආරංචි වූ ක්‍රිස්තියානු ආගමික විද්වතුන් පැමිණ මා ආදරයෙන් පිළිගත්හ. ඒ පිරිස සමඟ සිව් මාසයක් සහනයෙන් ජීවත් වුයෙමි. පසුව භාෂා පරිවර්තකයෙකු ගේ සේවය මට ලබා දිය හැකි දැයි ඔවුන්ගෙන් විමසුවෙමි. එම කාලයේ ටියුනිසියා දේශයේ පාලක වුයේ සුල්තාන් අබු අබ්බාස් අහමද් නමැති කෙනෙකි. යූසුෆ් අල් තබීබ් නමැති යහපත් වෛද්‍ය වරයෙක් සුල්තාන් ට සමීපතම උපදේශක වරයෙක් යැයි පාදිලි වරුන් මට කියා සිටියහ. මේ ආරංචියෙන් සතුට ට පත් ව, එම වෛද්‍ය වරයා ජිවත් වන්නේ කොහේ දැයි විමසුවෙමි. මගේ නව මිතුරන් වෛද්‍ය වරයා පුද්ගලික ව හමුවීමට මා ඔහු වෙත රැගෙන ගිය හ. ටුනිසියා දේශය ට මා පැමිණි හේතුව වෛද්‍යවරයා ට පවසා, ඉස්ලාමය ට පිවිසීම ට මගේ ආශා ව හෙළි කළෙමි. මෙය අසා ඔහු බොහෝ සතුටු වී, සුල්තාන් ව මුණ ගැසීමට මා රැගෙ ගියේය. ඔහු සුල්තාන් ව හමු වී මගේ කථා පවසා, සුල්තාන් වෙතට ඉදිරිපත් කිරීම ට අනුමැති ය පැතීය.

සුල්තාන් මෙය ට එකඟ වීමෙන්, මම සුල්තාන් ඉදිරිය ට පැමිණියෙමි. සුල්තාන් වරයා මගෙන් ඇසු පළමු ප්‍රශ්නය මගේ වයස ගැනයි. මගේ වයස අවුරුදු 35 ක් යැයි පිළිතුරු දුන්නෙමි. පසුව, මගේ අධ්‍යාපනය පිළිබඳ ව මම ඉගෙන ගත් විද්‍යා පිළිබඳ විස්තර ගැන ද ප්‍රශ්න කළේය. මම සියලු ප්‍රශ්නා වලට පිළිතුරු දුන් පසු, “ඔබේ පැමිණීම යහපතේ පැමිණීමය. අල්ලාහ් ගේ ආශීර්වාද යෙන් මුස්ලිම් බවට පත් වනු.“ යනුවෙන් සුල්තාන් වරයා කීය.

“කෙනෙක් මුස්ලිම් බවට පත් වු පසුව, ඔහුගේ ජනතාව ඔහුට එරෙහි ව  නොයෙක් චෝදනා එල්ල කර, ඔහු ගැන අයහපත් ලෙස කතා කිරීම නිතර සිදු වන දෙයකි. එනිසා, නගරයේ වාසය කරන ක්‍රිස්තියානු පූජකයන් සහ වෙළඳ ව්‍යාපාරිකයන් ගෙන්වා මා ගැන විමසා, ඔවුන් ගේ අදහස් වලට සවන් දෙන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි. ඉන් පසුව, ඉන්ෂා අල්ලාහ් මම ඉස්ලාම් දහම ට පිවිසෙන්නෙමි.“ යැයි පැවසුවෙමි. මෙය ට සවන් දුන් සුල්තාන් වරයා, “අබ්දුල්ලාහ් බින් සලමා ඉස්ලාමය ට පිවිසීම ට නබි (සල්) තුමාණන්ගෙන් ඉල්ලූ දේ ඔබත් ඉල්ලා ඇත.“ යනුවෙන් භාෂා පරිවර්තකයා ගේ මාර්ගයෙන් මට පැවසීය.

පසුව, පාදිලි වරුන් සහ ක්‍රිස්තියානු වෙළෙඳුන් ට ආරාධනා කර, ඔවුන් ට නොපෙනෙන සේ අසල කාමරයක රැඳී සිටින ලෙස සුල්තාන් වරයා මට අණ කළේය. ක්‍රිස්තියානු පිරිස පැමිණි විට, “මේ දේශය ට පැමිණි නවක පාදිලි වරයා ගැන ඔබ ගේ අදහ්ස කුමක් දැයි.“ සුල්තාන් වරයා විමසුවේය. ඔවුන් සියලු දෙනාම, “ඔහු අපේ ආගමේ උගත් විද්වතෙකි. ආගමික දැනුමෙන් ඔහු ඉතා ශ්‍රෙෂ්ඨ බව අපේ පාදිලි වරුන් පවසති.“ යැයි එක හඬින් කීහ.

ඔවුන් ගේ කතාව ට සවන් දුන් සුල්තාන් වරයා, මට එතැන ට පැමිණෙන ලෙස ආරාධනා කළ විට, මම ඔවුන් ඉදිරිය ට ගියෙමි. “නැමදුම ට සුදුසු අල්ලාහ් හැර වෙන කිසිවෙක් නැති බව ද මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් ගේ සංදේශ වරයෙකු“ බව ද එතැන ප්‍රකාශ කළෙමි. මෙයට සවන් දුන් ක්‍රිස්තියානුවන් වහාම තමා මත කුරුස ගසා ගෙන, “අපේ ආගමේ පාදිලි වරුන් ට විවාහ වීමට අනුමත නැති නිසා, ඔහු මෙසේ කළේ විවාහ කර ගැනීමේ ආශාවෙන්  හැර අන් කිසිදු හේතුවක ට නොවේ“ යැයි පැවසුහ.

ඔවුන් සියලු දෙනාම ඉතාමත් කම්පනයෙන් හා පීඩනයෙන් එතැනින් ඉවත් වුහ.

සුල්තාන් වරයා දෛනිකව දිනාර් කාර්තුවක් භාණ්ඩාගාරයෙන් මට ගෙවන ලෙස අණ කර, අල් හාජ් මුහම්මද් අල් සෆ්ෆාර් ගේ දියණිය හා විවාහ වීමට අනුමැතිය දුන්නේය. විවාහය සිදු වූ දින මට රන් දීනාර් සීයක් ද, ඇඳුම් සඳහා වටිනා රෙදි ද ත්‍යාග වශයෙන් ලැබුණි. විවාහයෙන් පසුව, අල්ලාහ් ගේ ආශීර්වාදයෙන් පුතෙක් ලැබුවෙමි. ඔහුට ආශීර්වාද ලත් නබි (සල්) තුමාගේ නාමය වන මුහම්මද් යනුවෙන් නම තැබුවෙමි. 

අදහස්