‘දේව විශ්වාසය’ පිළිබඳ සහජ හැඟීම


අතීතයේ තමා ජීවත් වූ පරිසරය පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව පරිසරයේ බල සාධකයන් කෙරෙහි ඇති කර ගත් බිය හේතුවෙන් එම සාධකයන් වෙත මිනිසා විසින් දේවත්වය ආදේශ කිරීමකින් දේව විශ්වාසය ආරම්භ වූ බව මතවාදයක් දක්නට ඇත. පළමු ව මෙම මතවාදයන්හි යථාර්ථය විමසා බලමු.

මධුර ප්‍රියදර්ශන පෙරේරා විසින් රචිත ‘බෞද්ධ දේව සංකල්පය - දේවත්වය පිළිබඳ බෞද්ධ විශ්ලේෂණය’ නම් ග්‍රන්ථයෙන් ‘දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය’ නම් මාතෘකාව යටතේ දක්වා ඇති අදහස් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“දේව සංකල්පය මානව ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් ම දිව යන්නකි. දඩයමින් ජීවත් වූ ආදිතම වනචාරී ගෝත්‍රික මිනිසුන් විවිධ කරුණු හා භය, පක්ෂපාත කම් ආදී දේ හේතු කොට ගෙන දෙවියන් ඇදහීමත්, ඔවුන්ට කන්නලව් කොට, භාරහාර වී විවිධ පුද පූජා පැවැත් වූ බවටත් පැරණි ගුහා චිත්‍ර හා මෙවලම් සාක්ෂි දරයි. එම ආදිතම මානවයා තම ගෝත්‍රයේ ආරක්ෂාව මෙන්ම දඩයම් සාර්ථක කර ගැනීමට ද දෙවියන් යැද්දාහ. මනඃකල්පිත දෙවිවරුන් උදෙසා විවිධ යාගහෝම සහ බිලි පූජා පැවැත්වූහ. එමගින් යම් සහනයක්, රැකවරණයක් ලැබුවේ නම් ‘එය දේව මහිමයෙන් යැ’යි ඔවුහු තරයේම විශ්වාස කළහ.

පුරාතන ග්‍රීක වාසීහු “zසියුස්” නම් වූ අදෘශ්‍යමාන මැවුම්කාර දෙවි කෙනෙක් පිළිබඳ විශ්වාසයෙන් වැඳුම් පිදුම් කළ බව පැවසේ. එම දෙවියා සම්බන්ධ ව තවත් දෙවිවරුන් හා දෙවඟනන් පිළිබඳ සංකල්පය ගොඩ නගා ගෙන භෞතික ලෝකයේ ක්‍රියාකාරකම් හා බලවේග දේවත්වයට ආරෝපණය කර, එම දේව සමුහයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ ව ද දාර්ශනික මතවාද ගොඩ නැගුහ. අව්ව, වැස්ස, සුළඟ, ගින්න, සඳු, හිරු ආදී දේ පමණක් නොව කලාව, මාතෘත්වය, ප්‍රේමය, ආදරය, රාගය ආදී දෛනික ජීවිතයේ දී අත්‍යවශ්‍ය සිදුවීම් පවා දේවත්වයට ආරෝපණය කළහ. ඒ සියල්ල අදෘශ්‍යමාන දෙවි කෙනෙක් විසින් සිදු කරන බවට ඔවුහු විශ්වාස කළහ. ඒ අනුව දෙවිවරුන් හට පුද පූජා පවත්වා වන්දනාමාන කිරීමෙන් සෙත, ශාන්තිය, සෞභාග්‍ය, ආරක්ෂාව අපේක්ෂා කළහ.

ඉන්දියාවේ ආර්ය සංස්කෘතිය පැතිරීමට වසර දහස් ගණනකට පෙර සිටම වයඹ දිග ඉන්දියාවේ ඉතා දියුණු සංස්කෘතික ලක්ෂණ සහිත ජනතාවක් වාසය කළ බවට සාක්ෂි ඇත. එය ‘ඉන්දු නිම්න’ ශිෂ්ටාචාරයයි. මෙහෙන්ජදාරෝ හරප්පා යන නගර කේන්ද්‍ර කොට ගෙන එම ශිෂ්ටාචාරය පැවතුණි. එහි හමු වූ නටඹුන් හා මුද්‍රා වලින් පෙනෙන්නේ, එකල මිනිසුන්ගේ ප්‍රධාන ආගමික සංකල්පය වුයේ ද දේව සංකල්පයම බවයි.

මිනිසා දෙවියන් වෙත ඇදී යාමටත් දේව පිහිට, දේව කරුණාව යැදීමටත් මූලික කාරණය භය, තැතිගැන්ම, කුතුහලය, මිනිස් සිතේ බලපැවැත්වීම බව ගෞතම බුදුරදුන් පවා දේශනා කොට ඇත.

ආරාම රුක්ඛ චේත්‍යානි - මනුස්සා භය තජ්ජිතා”

අර්ථය : බියෙන් තැති ගත් අය පර්වත, වනාන්තර, ආරාම, ගස්, චෛත්‍ය ආදියේ සරණ සොයති” (මධුර ප්‍රියදර්ශන පෙරේරා -

‘බෞද්ධ දේව සංකල්පය - දේවත්වය පිළිබඳ බෞද්ධ විශ්ලේෂණය’ පිටු 1 – 3)

ඉහතින් පළමු ව උපුටා දක්වන ලද මධුර ප්‍රියදර්ශන පෙරේරා මහතා විසින් රචිත ‘බෞද්ධ දේව සංකල්පය - දේවත්වය පිළිබඳ බෞද්ධ විශ්ලේෂණය’ නම් ග්‍රන්ථයෙන් ‘දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය’ නම් මාතෘකාව යටතේ දක්වා ඇති අදහස් පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නෙමු. මිනිසාගේ ආරම්භක කාල වකවානුව පිළිබඳ ව ලිඛිත ඉතිහාසයක් ඉතිහාසඥයින් විසින් අපට ඉතිරි කොට ගොස් නොමැත. දැනට ඇති ඉතිහාසගත ලේඛන සියල්ල වසර 5000 ක කාලයක් ඇතුළත සැකසුනු ඒවාය. මිහිතලය මත මිනිසාගේ සම්භවය වසර 5000 කට වඩා බොහෝ ඈතට දිවයන්නක් බව අනෙකුත් සාක්ෂි මගින් අපට දැක ගත හැක. මේ පිළිබඳ බ්‍රිතාන්‍ය කෞතුකාගාර වෙබ් අඩවියෙන් උපුටා ගත් තොරතුරු, මුල් ඉංග්‍රීසි අදහස් දැක්වීම සමග එහි සිංහල පරිවර්තනය ද  පහතින් දක්වා ඇත්තෙමු. විශේෂයෙන් ම පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අපට බොහෝ කරුණු මේ පිළිබඳ ව හෙළිදරව් වී ඇත.

The earliest form of writing (පැරණිතම ලිවීමේ විධි)

Tablet recording the allocation of beer

 

The earliest writing we know of, dates back to around 3,000 BC and was probably invented by the Sumerians, living in major cities with centralized economies in what is now southern Iraq. (අප දන්නා පැරණිතම ලිවීම් ක්‍රි. පූ. වර්ෂ 3000 ට පමණ අයත් ඒවාය. වර්තමානයේ දකුණු ඉරාකය ලෙසින් හැඳින්වෙන මධ්‍යගත ආර්ථිකයක් තිබු ප්‍රධාන නගරයන් හි ජීවත් වූ සුමේරියන් වරුන් විසින් බොහෝ විට පළමු වරට මෙය සොයා ගන්නට ඇත)

Ancient Egyptian hieroglyphs (පුරාතන ඊජිප්තු හෛරෝ රේඛනය නොහොත් පුරාණ මිසරාක්ෂර)

It is not known exactly where and when Egyptian writing first began, but it was already well-advanced two centuries before the start of the First Dynasty that suggests a date for its invention in Egypt around 3,000 BC.

 

https://www.britishmuseum.org/explore/themes/writing/historic_writing.aspx  

ලිවීමේ සම්ප්‍රදාය වසර ක්‍රි.පූ. 3000 ක් එනම් දැනට වසර 5000 ක් පමණ පැරණි යැයි ඉහත සාක්ෂි අපට සනාථ කරයි. වසර 5000 නොඉක්ම වන ඓතිහාසික තොරතුරු මත පමණක් පදනම් වී

මිනිසාගේ ආරම්භක ආගමික විශ්වාසය හා එයට පදනම් වූ දේව විශ්වාසයේ ස්වභාවය පිළිබඳ තීරණාත්මක නිගමනයන් ලබා දීම කෙතරම් බුද්ධිමය වශයෙන් වලංගු ක්‍රියාවක් ද යන්න අප විසින් සිතා බැලිය යුතු ව ඇත. එසේ නම් වසර 5000 ට පෙර මිහිතලය මත මිනිසාගේ දේව විශ්වාසය පිළිබඳ ඉතිහාසය සෙවීම සඳහා පුරාවිද්‍යාත්මක මෙන්ම පැරණි ආගමික සාක්ෂි හා අනෙකුත් පිළි ගත හැකි සාක්ෂි හා සාධක වෙත යොමු වීමට අවශ්‍ය වෙයි.

පැරණි ගුහා චිත්‍ර පිළිබඳ සඳහනක් ඉහතින් මධුර ප්‍රියදර්ශන පෙරේරා විසින් රචිත ‘බෞද්ධ දේව සංකල්පය - දේවත්වය පිළිබඳ බෞද්ධ විශ්ලේෂණය’ නම් ග්‍රන්ථයෙන් උපුටා දක්වන ලද කොටසේ දක්නට තිබිණි. මෙම චිත්‍ර පවා වසර 40,000 කට වඩා වැඩි ඉතිහාසයක් නොමැති ඒවා බව පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත. මෙම ගුහා චිත්‍ර ආගමික විශ්වාසයන් පිළිබඳ අදහස් විදහා දක්වන්නක් බව නිශ්චිත වශයෙන් ම ප්‍රකාශ කළ නොහැකි බව ද පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. වසර 40,000 ක් යනු මිනිසාගේ මිහිතලය මත ජීවිතයේ ආරම්භය නොවන බව මෙන්ම මිනිස් ජීවිතයේ සම්භවය මෙයට වඩා ඈතට දිවයන්නක් බව අනෙකුත් ඓතිහාසික සාක්ෂි දක්නට ඇත. ගුහා චිත්‍ර පිළිබඳ විස්තර පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

https://blog.world-mysteries.com/strange-artifacts/prehistoric-cave-paintings/

මෙම හේතු පදනම් කර ගනිමින් මධුර ප්‍රියදර්ශන පෙරේරා මහතා විසින් ඉදිරිපත් කොට ඇති කරුණු අනුමානයන් මත ගොඩ නගා ගත් ඒවා හැර නිශ්චිත ඓතිහාසික සාක්ෂි මත පදනම් වූ මතයක් නොවන බව පැහැදිලි ව දක්නට ඇත. පුරාතන මිනිසා ඔහුට නිරීක්ෂණය කිරීමට හා අත්විඳින්නට හැකියාවක් තිබු හිරු, සඳු, තාරකා, දැඩි සුළඟ, වැස්ස ආදී විවිධ බලගතු භෞතික නිර්මාණ වෙත දේවත්වය

ආදේශ කිරීමට ඉදිරිපත් වූ බව අපි ප්‍රතික්ෂේප නොකරන්නෙමු. නමුත් එය දේව විශ්වාසයේ සම්භවය ලෙස සැලකීමට හැකියාවක් නොමැති බව විචාරශීලී ව සිතන අයෙකුට පැහැදිලි ලෙස පෙනී යනු ඇත. මිනිස් චෛතසිකයේ මෙවන් ආදේශ කිරීම් සිදුවිය හැකි බව පහත සඳහන් අල් කුර්ආන් වැකි අපට පැහැදිලි කර දෙයි.

“රාත්‍රිය ඔහු (ඉබ්‍රාහීම්) ව ආවරණය කළ විට ඔහු තරුවක් දැක ‘මෙයයි මාගේ පරමාධිපති’ යැයි පැවසුවේය. එය අස්ත ගත වී (නොපෙනී) ගිය විට ‘අස්ත ගත වන දෑ මම ප්‍රිය නොකරමි’ යි පැවසුවේය. පසු ව සඳු උදා වනු ඔහු දුටු විට ‘මෙයයි මාගේ පරමාධිපති’ යැයි ඔහු පැවසුවේය. එය අස්ත ගත වී ගිය විට ‘මාගේ පරමාධිපති මට නිවැරදි මඟ නොපෙන්වුයේ නම් සැබැවින්ම මම නොමග ගිය පිරිසෙන් කෙනෙකු වන්නෙමි’ යැයි ඔහු පැවසුවේය. ඉන් පසු හිරු උදා වනු ඔහු දුටු විට ‘මෙයයි මාගේ පරමාධිපති මෙය අති විශාලය’ යැයි ඔහු පැවසුවේය. එය අස්ත ගත වී ගිය විට ‘මාගේ ජනයිනි නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වූවෙකු වෙමි’ යැයි පැවසුවේය.”

(අල් කුර්ආන් 6 : 76 – 78)

මෙම අල් කුර්ආන් වැකි අනුව තාරකා හිරු සඳු වැනි භෞතික නිර්මාණයන් වෙත දේවත්වය ආදේශ කිරීම ඉබ්‍රාහිම් ධර්ම දුතයාණන්ගේ යුගයේත් පැවති බව පැහැදිලි වේ. මෙම ආදේශ කිරීම් අර්ථ ශූන්‍ය හා බුද්ධි ගෝචර ක්‍රියාවන් නොවන බව ඉතා සරල පිළිවෙතක් අනුගමනය කරමින් තම ජනයාට පැහැදිලි කර දීමට ගත් ප්‍රවේශය ඉතා අලංකාරය. ඉබ්‍රාහීම් ධර්ම දුතයාණන්ගේ යුගය ක්‍රි. පූ. 2000 පමණ වෙතැයි නිගමනය කිරීමට සාක්ෂි ඇත. එනම් දැනට වර්ෂ 4000 කට පෙර ඒක දේවත්වය පිළි ගත් සම්ප්‍රදායක් ප්‍රචලිත ව පැවත ඇති අතර එලෙසම ඒක දේවත්වයට ආදේශ තැබීම ද එකල පැවත ඇති බවය.  

මධුර ප්‍රියදර්ශන පෙරේරා මහතා විසින් තම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ දරා ඇති මතය එනම් මිනිසා විසින් බිය තැතිගැන්ම, කුතුහලය වැනි සාධක හේතුවෙන් විවිධ භෞතික සාධක වෙත දේවත්වයක් ආරුඪ කොට ඒවාට පුද පුජා පැවැත්වීමට කටයුතු කරන බවය.  ‘බියෙන් තැති ගත් අය පර්වත, වනාන්තර, ආරාම, ගස්, චෛත්‍ය ආදියේ සරණ සොයති’ යන ප්‍රකාශනය තුළ මිනිස් චෛතසිකයේ දේවත්වයක් පිළිබඳ ජන්මයෙන්ම උරුම වූ සහජ හැඟීමක් ඇති බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේ ද? එසේ නොමැති ව ආරම්භක මිනිසාගේ චෛතසිකයේ දේවත්වය පිළිබඳ හැඟීම ජනිත වීම විග්‍රහ කළ හැක්කේ සිහින ලොවින් ලබා ගත් මතයක් ලෙස දැ’යි ඇසිය යුතු නොවන්නේ ද? එවන් හැඟීමකින් තොරව තම නොදැනුවත්කම තුළ නිවැරදි දේව විශ්වාසයෙන් බැහැර ව මෙවන් වැරදි ආදේශ කිරීම් සිදු කරන බව නොවේ ද ඉහත ප්‍රකාශනයෙන් දක්වා තිබෙන්නේ? කරුණාකර මොහොතක් සිතා බලන්න.

දේව විශ්වාසයේ සම්භවය පිළිබඳ ව ඇති තවත්  මතවාදයක් දෙස අවධානය යොමු කරමු.

පාතික සුත්‍රයෙහි එන ලෝකෝත්පත්ති වංශ කතාවේ සාරාංශය කටුවැල්ලේගම අමරසිරි තිස්ස මහානායක මාහිමි විසින් ‘විශ්වය, විද්‍යාව හා බුදුදහම’ නම් වූ තම ග්‍රන්ථයේ සංක්ෂිප්ත ව දක්වා ඇති ආකාරය පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“ලෝක විනාශ කාලයෙහි සත්වයා ආභස්සර බඹ ලොව ඉපදීම; ලෝක ප්‍රභවයේ දී ආභස්සර බඹ ලොවින් චූත වූ පළමු වන සත්වයා (ඕපපාතික ව) හිස් බඹ විමනෙහි පළමු වරට ඉපදීම; අති දීර්ඝ කාලයක් හුදෙකලාව එහි වසන ඔහුට තනිකමක් දැනීම නිසා තවත් සත්වකෙනෙක් එහි උපදනාහු නම් මැනවැ’යි සිතක් පහළ වීම; ඉන් පසු ආභස්සර බඹ ලොවින් චූත වූ තවත් සත්වයන් එහි ඕපපාතික ව

ඉපදීම; ආදිම වූ ඔහුගේ සිතැඟි අනුව එම සත්වයන් එහි උපන්හ යන හැඟීම නිසා ඔහු පසු ව උපන් සත්වයන්ගේ නිර්මාතෘවරයා වශයෙන් සලකා ගැනීම; එසේ ම පසු ව උපන් සත්වයන් විසිනුදු ඔහුගේ නිර්මාතෘවරයා යැයි සලකා ගැනීම; අති දීර්ඝ කාලයකට පසු මේ පෘථිවිය හට ගත් කල එම බඹ විමනෙන් චූත ව මේ මිනිස් ලොව ඕපපාතික වශයෙන් උපත ලැබූ මුල් තැනැත්තා පැවිදි ව ධ්‍යාන වඩා ධ්‍යාන චිත්තයෙන් බැලීමේ දී ඔහු කලින් ඉපිද සිටි බඹ ලොව හුන් ආදිමයා දැක ඔහු තම නිර්මාතෘවරයා වශයෙන් සලකා ගැනීම; පසු කල මේ මිනිස් ලොව උපන්නවුන් විසිනුදු ඒ මතයෙහි ම එල්බ ගෙන ඒ මහා බ්‍රහ්මයා පමණක් නිත්‍ය යැයි ද සදාකාලික යැයි ද තමන් පමණක් අනිත්‍ය යැයි ද අධ්‍රැව යැයි ද සැලකීමත් ය”.  (35 වැනි පිටුව)

මෙම සුත්‍රයෙන් උගත් මහනාහිමිපාණන් විසින් උපුටා දක්වා ඇති පරිදි (අප විසින් මෙම සුත්‍රයේ මුලාශ්‍ර පරීක්ෂා කර නොබැලූ බව දන්වා සිටින්නෙමු) මෙහි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත. මෙහි පළමු වැනි කරුණ නම් ඉහත සුත්‍රයේ සඳහන් කොට ඇති සියල්ල පාරභෞතික කරුණු ය. පසිඳුරන්ට ගෝචර නැති පාරභෞතික කරුණු පිළිගන්නට සිදුවන්නේ ‘විශ්වාසය’ පදනම් කර ගෙනය. තම දහම ‘විශ්වාසය’ මත පදනම් නොවූවක් වන අතර එය යතාභූතය මත පමණක් පදනම් වූවක් යන මතය මෙයින් ප්‍රතික්ෂේප වෙයි. ‘විශ්වාසය’ යතාභූතය ලෙස පිළිගැනීමට මිනිසා උපයෝගී කර ගන්නේ මිනිසාට පමණක් උරුම වූ විචාර බුද්ධියයි. ඉහතින් සඳහන් කරුණු මිනිසාගේ විචාරයෙන් සත්‍යයක් ලෙස පිළිගැනීමට හැකි සාධක අන්තර්ගත ව තිබේ ද? ඉහතින් දක්වා ඇත්තේ කල්ප විනාශයෙන් පසු මිහිතලය මත මිනිස් ජීවිත ආරම්භ වන විස්තරයන්ගෙන් කොටසක් යැයි අපි සිතන්නෙමු. මෙම ලිපිය මගින් කල්ප විනාශය සාකච්ඡා කිරීමට අදහස් නොකරනමුත් එහි විද්‍යාත්මක බවක් ඇති දැ’යි පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ විට ඔබට නිගමනය කළ හැකි වනු ඇත.

මහා කල්පය

මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මලෝකාදී කෙළ (කෝටි) ලක්ෂයක් සක්වළවල් විනාශ කරන කල්ප විනාශය.

සක්වළ : එක් සුර්ය මණ්ඩලයක හා චන්ද්‍ර මණ්ඩලයක ආලෝකය විහිදෙන ප්‍රමාණය ඇති ලෝක ධාතුව; මහාමේරුව සප්ත කුළ පර්වත සහ ඉර ද සඳු ද ඇතුළත් ලෝක ධාතුව (බෞද්ධ ශබ්ද කෝෂය - 1475 වැනි පිටුව)

මෙවන් සක්වළවල් කෝටි ලක්ෂයක් ගින්නෙන්, ජලයෙන් හා වායුවෙන් විනාශ වීම කල්ප විනාශය ලෙස දැක වේ.   

සංවර්ත (නස්නා) අසංඛ්‍ය (අන්තඃ කල්ප 64)

  • තේජෝ සංවර්ත (ගින්නෙන් විනාශ වීම)

  • ආපෝ සංවර්ත (ජලයෙන් විනාශ වීම)

  • වායෝ සංවර්ත (වායුවෙන් විනාශ වීම)

සංවර්ත ස්ථායී (නසී සිටි) අසංඛ්‍ය (අන්තඃ කල්ප 64)

විවර්ත (හටගන්නා) අසංඛ්‍ය (අන්තඃ කල්ප 64)

විවර්ත ස්ථායී (හටගෙන සිටි) අසංඛ්‍ය (අන්තඃ කල්ප 64)

  • රෝගාන්තඃ කල්ප (රෝග වලින් විනාශ වීම)

  • ශස්ත්‍රාන්තඃ කල්ප (අවි ආයුධ වලින් විනාශ වීම)

  • දුර්භික්ෂාන්තඃ කල්ප (ආහාර හිඟයෙන් විනාශ වීම)

එක් අන්තඃ කල්පයක් තුළ මිනිස් ආයුෂ අසංඛ්‍යයෙන් (සද්ධර්මාලංකාරය අන්ව එක ඉදිරියේ බින්දු 51 ක් යෙදීමෙන් සැකසෙන සංඛ්‍යාව) පටන් ගෙන වර්ෂ 10 දක්වා අඩු වී නැවත අසංඛ්‍යයක් දක්වා වැඩි වෙන බව සඳහන් වේ. මෙම කෙටි විස්තරය ඉදිරිපත් කළේ විශ්වාසය බුද්ධිගෝචර නම් පමණක් පිළිගැනීමට හැකි බව පෙන්වීමටය. එහෙයින් ඉහතින් උගත් මහනාහිමිපාණන් විසින් දක්වා ඇති විස්තරය ‘විශ්වාසය’ පමණක් පදනම් කර ගෙන පිළිගැනීමට සිදු වන අතර එය විචාර බුධියට අනුකූලත්වයක් දක්වන්නේ ද යන්න ඔබ ම කරුණාකර සිතා බලන්න.

ඉහත විස්තරයේ දේව විශ්වාසයේ ආරම්භය දක්වා ඇත්තේ ‘අති දීර්ඝ කාලයකට පසු මේ පෘථිවිය හට ගත් කළ එම බඹ විමනෙන් චූත ව මේ මිනිස් ලොව ඕපපාතික වශයෙන් උපත ලැබූ මුල් තැනැත්තා පැවිදි ව ධ්‍යාන වඩා ධ්‍යාන චිත්තයෙන් බැලීමේ දී ඔහු කලින් ඉපිද සිටි බඹ ලොව හුන් ආදිමයා දැක ඔහු තම නිර්මාතෘවරයා වශයෙන් සලකා ගැනීම’ යනුවෙනි. මෙහි අපගේ අවධානය යොමු විය යුතු වැදගත් කරුණක් ඇත. ‘පැවිදි ව ධ්‍යාන වඩා ධ්‍යාන චිත්තයෙන් බැලීමේ දී’ ඔහු දැක ඇත්තේ මිත්‍යාවක් බව හුවා දැක්වීම ධ්‍යාන වඩා ලබන ඵලය පිළිබඳ බරපතළ ගැටලුවක් මතු කරයි. එහෙයින් දේව විශ්වාසය පදනම් විරහිත හා මිනිසාගේ බිය තැතිගැන්ම කුතුහලය මෙන්ම මිත්‍යා දැක්මක් මත ආරම්භ වූවක් ලෙස හුවා දක්වන්නට කර ඇති ප්‍රයත්නයන් ප්‍රතික්ෂේප වන අතර සත්‍යය වශයෙන්ම සිදු වී ඇත්තේ මිනිස් චෛතසිකයේ ඒක දේවත්වයක් පිළිබඳ ජන්මයෙන්ම උරුම වූ සහජ හැඟීම මිනිසා විසින් කාලයාගේ ඈවෑමෙන් සත්‍යයෙන් බැහැර ව විවිධ භෞතික සාධකයන්ට ආදේශ කිරීමට කර ඇති ක්‍රියාවන් ලෙසය.  

ඒක දේවත්වය සනාථ කරන ඓතිහාසික සාක්ෂි

මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු කරුණු කිහිපයක් ඇත.

  1. අදේවවාදීන් පවසන අන්දමට දේව විශ්වාසය මිනිසාගේ නිර්මාණයක් ද? පාරිසරික සාධක කෙරෙහි මිනිසාගේ තිබු බිය තැතිගැන්ම හා කුතුහලය හේතුවෙන් පරිසරයේ බලගතු සාධක වෙත ඔවුන් විසින් දේවත්වය ආදේශ කළ බව මෙම අදේවවාදීන් සඳහන් කරති. මිනිසාගේ චෛතසිකයේ දේවත්වය එනම් සියල්ල කෙරෙහි බලය යෙදීමේ හැකියාව ඇති ‘පරමාධිපති’ බලයක් පිළිබඳ හැඟීමකින් තොරව කෙලෙස නම් මිනිසා පරිසරයේ බලගතු සාධක කෙරෙහි දේවත්වය ආදේශ කිරීමට ඉදිරිපත් විය හැක්කේ ද යන්න පිළිබඳ අදේවවාදීන් නිහඬය. ඔවුන් මේ ගැන විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් නොවෙති. ‘දේවත්වය’ පිළිබඳ මුල් බීජය මිනිස් චෛතසිකයේ කෙලෙස ඇති වූයේ ද යන්න ඔවුන්ගේ චින්තනයෙන් පරිබාහිර දෙයක් ව පවතී.

  2. දෙවැනි කරුණ වශයෙන් ඇත්තේ මිනිසා මූලාරම්භයේ තම චෛතසිකයේ ඇති කර ගෙන තිබුණේ ඒකදේවත්වය ද නැතිනම් බහුදේවත්වය ද යන්න අප විසින් විමසා බැලිය යුතු ව ඇත. බහුදේවත්ව විශ්වාසයේ උපත සිදු වන්නේ ආරම්භයේ සිට ඒකදේවත්වය අනුගමනය කළවුන්ගේ ආධ්‍යාත්මික පිරිහීමේ ඵලයක් හේතුවෙන් ද?

  3. ආරම්භයේ තිබුණේ ඒකදේවත්වය නම් එය බහුදේවත්වය කරා පිරිහීමට ලක් වුයේ කෙලෙස ද යන්න අපගේ විමසුමට ලක් විය යුතු වැදගත් සාධකයකි.

මෙම කරුණු සිත් හි දරා ගනිමින් දේවත්වය පිළිබඳ ඓතිහාසික තොරතුරු වෙත යොමු වෙමු.

සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබේය යන්න පිළිබඳ හැඟීමක් ඇත. මුහම්මද් ධර්ම දුතයාණන් වරෙක පවසා සිටියේ සෑම දරුවෙක් ම මෙම පිවිතුරු සහජ හැඟීම (ෆිත්රා) සමග බිහි වන අතර එම දරුවාගේ දෙමව්පියන් විසින් විවිධ විශ්වාසයන් කරා ඔහු ව යොමු කර වන බවය. මෙම සත්‍යය ස්වභාවයෙන් බැහැර ව එම සත්‍යය විශ්වාසයට පටහැණි ආදේශකයන් තබා ගැනීමයි අද සිදුවෙමින් පවතින්නේ. නමුත් හදිසි ආපදාවක් අනතුරක් ඇති වූ විට මිනිසා විසින් විශ්වයේ සත්‍ය වූ ශක්තිය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ආදේශකයන් අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් මතු වී එන්නේ සත්‍යයේ හඬයි. ගසකට, පිළිරුවකට, මිනිසෙකුට තැබූ ආදේශය අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් විශ්වයේ සැබෑ ශක්තියට ආමන්ත්‍රණය කිරීමේ හඬ ඉස්මතු වී එන හැටි අපි විවිධ අවස්ථාවන් හි දැක ඇත්තෙමු. අදේවත්වයේ මග අනුගමනය කරන්නන් පවා මෙලෙස අසරණ වූ අවස්ථාවන් හි සරණ පතා හඬ නගන හැටි අපි දැක ඇත්තෙමු. ඉස්ලාමය මෙම ලෝක සත්‍ය යථාර්ථය අනුගමනය කරමින් කටයුතු කරයි.

සඟරාවක කියැ වූ ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයක් වූ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයින් පිරිසක් තමන් තෝරා ගත් විෂය ධාරාවක් ඔස්සේ ආචාර්ය

උපාධිය වෙත යොමු වූ පර්යේෂණාත්මක අධ්‍යයන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වූහ. මෙම ශිෂ්‍යයින්ගේ අයදුම්පත් පරීක්ෂාකර බැලු මහාචාර්ය මණ්ඩලයට එක් පොදු ලක්ෂණයක් මෙම අයදුම්පත් හි දකින්නට තිබුණි. එනම් එක් ශිෂ්‍යයෙකු හැර අන් සියල්ලම ‘දහම’ යන කොටුව සඳහා ලබා දී තිබුණේ තමන් අදේවවාදී යන අර්ථය ඇති පිළිතුරුය. මෙම අයදුම්පත් පරීක්ෂා කර බැලූ මහාචාර්ය මණ්ඩලය ශිෂ්‍යයින්ගේ මෙම පොදු සාධකය පදනම් කර ගෙන පර්යේෂණයක් කරන්නට සැලසුමක් සකස් කර ගත්හ. මෙම විශ්ව විද්‍යාලයේ පර්යේෂණාත්මක පාඨමාලාවට සහභාගි වන ශිෂ්‍යයින් හට තම සතුට ප්‍රකාශ කිරීමක් ලෙස පහතින් පියාසර කළ හැකි හා පිනුම් ගැසිය හැකි ගුවන් යානයක් තෝරා ගෙන විශ්ව විද්‍යාලය පිහිටා ඇති නගරයේ සංචාරයක යෙදී ආපසු පැමිණියායින් පසු මහාචාර්ය මණ්ඩලය සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට ආරාධානා කරන ලදී. ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු යානයේ පාලනය තමන් වෙත නොමැති බව නිවේදනය කරන ලෙස මහාචාර්යවරුන් විසින් ගුවන් යානයේ නියමුවාට උපදෙස් දී තිබුණි. ‘කරුණාකර අවධානය යොමු කරන්න! ගුවන් යානයේ පාලනය මාගෙන් ගිලිහී ගොස් ඇත! කරුණාකර ආසන පටි පැලඳ අසුන්ගෙන සිටින්න!’ මෙවන් නිවේදනයක් ගුවන් යානයක් මගීන් සමග ගුවන්ගත වූවායින් පසු නියමුවා විසින් නිකුත් කළ විට සියලුම ගුවන් මගීන්ගේ සිතෙහි ඇති විය හැකි එකම හැඟීම නම් ගුවන් යානය කඩා වැටී සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වීමේ තත්ත්වයට පත් වනු ඇතැයි යන්නය.

ඉහත ගුවන් යානයේ එක් අයෙකු හැර සියල්ලන්ම අදේවාදීන්ය. අදේවවාදියෙකුට මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයක් නොමැත. ඔහුට මරණය යනු බියක් ජනිත කළ යුතු කාර්යයක් නොවේ. කෙසේ නමුත් ගුවන් යානය කඩා වැටී විවිධ ආකාරයේ බරපතළ කායික පීඩා ඇති විය හැකි බව හැඟෙන්නට ඉඩ ඇත. මෙවන් බියකරු තත්ත්වයක් තුළ ගුවන් යානයේ සිටි මගීන්ගේ

ප්‍රතිචාරය කුමක් විය හැකි දැයි මොහොතකට ආවර්ජනය කර බලන ලෙස ඔබගෙන් කාරුණික ව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. මහාචාර්ය වරුන්ගේ උපදෙස් පරිදි ගුවන් යානය තුළ සිදු වන දෑ සටහන් කර ගැනීම පිණිස වීඩියෝ කැමරා සවිකර තිබූ හෙයින් නියමුවාගේ පාලනයෙන් ගුවන් යානයේ පාලනය ගිලිහී ගියා යැයි පැවසු මොහොතේ සිට සිදු වූ සියල්ල වාර්තා වී තිබුණි. තමන්ගේ අයදුම්පත භාරදෙන මොහොතේ වීරයින් ලෙසින් තමන් අදේවවාදීන් යැයි පැවසු සැවොම ගුවන් යානය තුළ හඬා වැටෙමින් ‘අහෝ දෙවියනි! අපව ආරක්ෂා කරනු මැනව!’ වැනි වදන් පවසමින් කන්නලව් කළ ආකාරය සැබැවින්ම හද කම්පා කරවන සුළුය. අදේවවාදීන් ලෙස වහසිබස් දොඩවන්නන් භයානක තර්ජනයකට මුහුණ දෙන අවස්ථාවක තම හදවතේ ජන්මයෙන්ම සනිටුහන් වී  ඇති ඒක දේවත්වය ඉස්මතු වී, මෙලෙස එම විශ්වයේ අධිපති දෙවිඳුන්ගෙන් උපකාර ඉල්ලමින් කන්නලව් කරන තත්ත්වයන් අප දැක ඇත්තෙමු. ‘පරමාධිපති’ දෙවිඳුන් විසින් මිනිසාගේ නිවැරදි මඟ පෙන්වීම සඳහා පහළ කළ අවසන් හා ලොව අවසානය දක්වා පවතින එකම දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනයේ මේ පිළිබඳ ව දක්වා ඇති කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

“(නබි මුහම්මද්) නුඹේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගේ කොඳු ඇට පෙළෙන් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුන් තමන් කෙරෙහිම සාක්ෂි දැරීමට සලස්වමින් ‘මා නුඹලාගේ පරමාධිපති නොවේදැ’? (යි විමසුවේය.) එවිට ඔවුහු ‘එසේය (ඔබමය අපගේ පරමාධිපති වන්නේ යැයි) අපි සාක්ෂි දරන්නෙමු’යි පැවසුහ. ‘සැබවින්ම මේ පිළිබඳ ව අපි නොදැන සිටියෙමු’ යැයි (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන දිනයේ නුඹලා පැවසිය හැකි හෙයින් (මෙලෙස අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත්තෙමු)”.

(අල් කුර්ආනය 7 : 172)  

මෙලොව ජනිත වන සෑම මිනිසෙකුම මෙම ප්‍රතිඥාව ‘පරමාධිපති’ දෙවිඳුන් වෙත ලබා දී බිහි වී ඇති හෙයින් ඔවුන්ට කුමන සංස්කෘතික හා සමාජයීය තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වුවත් තම චෛතසිකයේ නොමැකිය හැකි ලෙසින් සනිටුහන් වී ඇති දේව විශ්වාසයෙන් බැහැර විය නොහැක. ඉහත උදාහරණය මෙයට කදිම නිදසුනකි. තවත් වැදගත් පර්යේෂණයක් වෙත අපගේ අවධානය යොමු කරමු.          

‘එමිල් ඩර්ක්හයිම්’ නමැති සමාජ විද්‍යාඥයා විසින් බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවකින් තොරව වර්ෂ දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික සමාජ සංස්ථාවන් සහිත ව ජීවත් වූ ආදිවාසී ජන සමුහයක් පිළිබඳ ව පවත්වන ලද පර්යේෂණයක කරුණු අන්තර්ගත කොට ඩබ්ලිව්. එස්. එෆ්. පිකරිං විසින් සකස් කරන ලද “Durkheim on Religion” නමැති ග්‍රන්ථයේ පහත සඳහන් අයුරු කරුණු විග්‍රහ කොට ඇත.

“මෙම ආදිවාසී පිරිසගේ දෙවිඳුන් සදා ජීවමාන සදාතනිකයෙකි. ඔහුගේ ආරම්භය අන් කිසිවක් මත නොමැත. විශ්වයේ සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි. හිරු, සඳු ආදී සියලු තාරකාවන් පාලනය කරන්නේ ඔහුය. සියල්ලෙ හි නිර්මාතෘ ඔහුය. විදුලි කෙටීම් හා අකුණු සැර ඔහුගේ අණ පරිදි සිදු වේ.” (W. S. F. Pickering – “Durkheim on Religion” Routledge and Kagan Paul, London 1975).

මෙම ආදිවාසී ජන සමුහයේ දේව විශ්වාසය හා ඉස්ලාමයේ දේව විශ්වාසය අතරේ කිසිඳු පරස්පරතාවක් නොමැත. බාහිර සමාජ බලපෑම් කිසිවක් නොමැති ව තම ජන්මතාවට අනුකුල ව  ‘විශ්වාසය’ සකස් කර ගන්නට යමෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහුගේ තත්ත්වය සත්‍යය වශයෙන්ම සැකසෙන්නේ මේ අයුරු බව කිසිම සැකයක් නොමැත. මෙම කරුණු මගින් සනාථ වන්නේ ‘දේව විශ්වාසය’ මිනිසාගේ සහජ හැඟීම් වලින් එකක් බව නොවේද?  

        

උතුරු ජෝර්දාන පෞරාණික දෙව් මැදුර හා ඒකදේව විශ්වාසය     

මෙම වාර්තාවේ පරිවර්තනය පහත සඳහන් අයුරින් සංක්ෂිප්ත ව ඉදිරිපත් කොට ඇත්තෙමු. සම්පුර්ණ වාර්තාව පහත සඳහන් වෙබ් අඩවියෙන් ලබා ගත හැක.  

https://cogweb.ucla.edu/Culture/Monotheism.html

“ජෝර්දානයේ අප්‍රසිද්ධ තැනක පිහිටා ඇති දෙව් මැදුරක කුටියක් පුරා විද්‍යාඥයින් විසින් සොයා ගැනීමෙන් පසු ‘දෙවිඳුන්’ පිළිබඳ අපගේ ච්න්තනය සහමුලින්ම වෙනස් කිරීමට හේතු වනු නොඅනුමානය.

ජෝර්දානු නදී මිටියාවතේ තෙත් කඳු වලට ඇලී පිහිටා ඇති අති විශාල ගල්පර්වතයන් ‘මිග්ඩොල්’ දෙව් මැදුරේ පුරාතන ශක්තිමත් ලෙස සැකසුනු තාප්ප ජාලයක් ලෙස පෙනුන ද මෙහි පර්යේෂණ කටයුතු වල යෙදී සිටි ඕස්ට්‍රේලියානු හා ජෝර්දාන  පුරා විද්‍යාඥයින් හට ඉතා පැහැදිලි ව පෙනී ගියේ ශිලා ලේඛනයක් වශයෙන් සකස් කරන ලද අති පැරණි පුස්තකයක් පුනර්නිර්මාණය කරන බවය. මීටර 29ක් දිග හා මීටර 22ක් පළල මෙම ‘මිග්ඩොල්’ දෙව් මැදුරෙන් සොයා ගත් වර්ෂ 3600ක් පැරණි ශිලා ලේඛනය මගින් ඒකදේවත්වයෙන් බහුදේවත්වයට සංක්‍රාන්තිය සිදු වූ ආකාරය විස්තර කොට ඇත. මෙම දෙව් මදුර පිහිටි ප්‍රදේශය මිහිතලය මත පැරණිම ජනාවාස බිහි වූ එක් ප්‍රදේශයක් ලෙස කරුණු සොයා ගෙන ඇත. වර්ෂ 9000 ක පමණ පැරණි මිනිස් ජනාවාසයක ඉතිහාසයක් මෙහි

 

පුරා වස්තු අතරේ සැඟ වී ඇති බව මෙහි කැණීම් කරන සිඩ්නි විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥ ස්ටීෆන් බර්ක් පවසයි”.    

මේ අනුව මිනිසා විසින් දේවත්වය නිර්මාණය කර ගත්තා යැයි ඉදිරිපත් කොට ඇති පදනම් විරහිත මතවාදයන් බිඳ වැටෙන අතර මිනිසා ඔහුගේ මිහිතලය මත ආරම්භක කාලයේ සිට ඒක දේවත්වය මත තම ආගමික විශ්වාසයන් සකසා ගෙන කටයුතු කොට ඇති බව නිසැකවම ඔප්පු වන කරුණකි. බහු දේවත්වය පසුකාලීන විකෘතියකින් සිදු වූවක් බව ද මෙයින් පැහැදිලි ව දකින්නට ඇත.

ඒක දේවත්වය පිළිබඳ විද්‍යාත්මක සාධක

2008 ජුලි 26 වැනි දින ඕස්ට්‍රේලියාවේ  පළ කෙරුණු “The Age” නම් පුවත්පතට ලිපියක් සපයමින් බාර්නි ස්වාට්ස් නම් ලේඛකයා පහත සඳහන් අයුරින් ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කොට තිබුණි.

“ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් පවසා සිටි පරිදි බිළින්දන් දේව විශ්වාසය හා තදින් බැඳී ඇති අතර අදේවත්වය ඔවුන් පසුව අත්කර ගන්නක් බවය. බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය මගින් ‘දහම හා මනෝවිද්‍යාව’ යන තේමාව යටතේ පවත් වන ලද සම්මන්ත්‍රණයකදී ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියේ පෙර පාසැල් දරුවන් පවා ඔවුන්ගේ භෞතික ලෝකය පිළිබඳ අවබෝධය තුළ දේවධර්ම සංකල්පයන් නිර්මාණය කළ බව පවසා සිටියාය. දහම් පිළිබඳ මනෝවිද්‍යාත්මක විශේෂඥවරියක් වන ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියේ මිනිසාගේ ස්වභාවිකත්වය දේව විශ්වාසය ද නැතිනම් අදෙවත්වය ද යන්න පිළිබඳ  මනෝවිද්‍යාඥයින් අතරේ විවාදයක් තිබු අතර ඇගේ මතය වුයේ දේව විශ්වාසය උගන්වනු

ලබන්නක් නොව ස්වභාවයෙන් ම වර්ධනය වන්නක් බවය. ‘The Age’ සඟරාව වෙත ඇය පවසා සිටියේ දේව විශ්වාසය මිනිස් චෛතසිකයට ඉතා තදින් ම බැඳී ඇති බවය. ආචාර්ය පෙට්‍රොවිච් පවසා සිටියේ තම නිගමනයන් විවිධ අධ්‍යයනයන් මත පදනම් වූවක් වන අතර විශේෂයෙන්ම වයස අවුරුදු 4 සිට 6 දක්වා වූ ජපාන දරුවන් අතරේ හා ආගමික විශ්වාසයන් හතකට අයත් වූ වයස අවුරුදු 5 සිට 7 දක්වා වූ බ්‍රිතාන්‍ය දරුවන් 400 අතරේ කළ අධ්‍යයනයන් මෙම නිගමනයට ඒමට උපකාරී වූ බවය. අදේවත්වය සහතික වශයෙන්ම තමන් විසින් අත්කර ගන්නා ස්ථාවරයක් වන අතර මිනිස් සහජත්වයේ කොටසක් නොවන බව ඇය විසින් තරයේම පවසා සිටින ලදී”.           

පහත සඳහන් වෙබ් අඩවිය ‘Telegraph’ පුවත්පතේ ලිපියක් උපුටා දක්වමින් ඉදිරිපත් කොට ඇති තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු.

https://www.telegraph.co.uk/news/religion/3512686/Children-are-born-believers-in-God-academic-claims.html

“ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව හා මනස පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු වූ ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett) පවසන අන්දමට යොවුන් වියේ සිටින්නන් ලොව සියලු දෑ අරමුණක් ඇති ව නිර්මාණය කොට ඇති බව සිතන හෙයින් ඔවුන් අතර උත්තරීතර දෙවිඳෙකු විශ්වාස කිරීමේ පූර්ව නැඹුරුවක් ඇති බව දැක්වේ.  

දෙමව්පියන් විසින් හෝ පාසල් අධ්‍යාපනය තුළින් දේවත්වය පිළිබඳ ඉගැන්වීමක් නොකළ ද කුඩා දරුවන් තුළ දේව විශ්වාසයක් ඇති වන බව පවසන ඔහු කාන්තාර දූපතක තනි ව හදා වඩා ගත්තත් මෙම විශ්වාසය ඇතිවීම වැළැක්විය නොහැකි බව සහතික වෙයි.  

පසුගිය වසර දහය තුළ ස්ථාපිත වූ විද්‍යාත්මක සාක්ෂි අනුව අප සිතනවාට වඩා බොහෝ කරුණු  දරුවන්ගේ මනස තුළ ස්වභාවික ලෙසම වර්ධනය වන බව සොයා ගෙන ඇත. මේ කරුණු අතර ස්වභාවික ලෝකය සැලසුම් සහගත එකක් හා එහි අරමුණක් ඇති අතර මේ සියල්ල මෙහෙය වන බුද්ධිමය බලයක් ඇති බව ඔවුන්ගේ චෛතසිකයේ ඇතිවන බවත් ඔහු පවසා සිටියේය”.     

දේවත්වය පිළිබඳ ආගමික ග්‍රන්ථ ඉදිරිපත් කරන මතයන්

“අල්ලාහ් නමදිනු. තවද ‘තාඝුත්’ (අල්ලාහ් විසින් පහළ කළ මඟ පෙන්වීමට එරෙහි බලවේග) පිළිවෙතින් වැළකී සිටිනු’යි ප්‍රකාශ කරන රසුල් වරයෙකු (ධර්ම දූතයෙකු) සියලු ජන සමාජයන් වෙත නියත වශයෙන්ම අපි යැවීමු. එවිට ඔවුන්ගෙන් සමහරුන්ට අල්ලාහ් මඟ පෙන්වීය. ඔවුන්ගෙන් ඇතමෙකුට නොමඟ යෑම තහවුරු විය. ඒ නිසා මිහිතලයෙහි සැරිසරනු. (රසූල්වරුන්) බොරු යැ’යි කී අයගේ අවසානය කෙසේ වී දැයි බලනු”.

(අල් කුර්ආන් 16 : 36)

“සෑම ‘උම්මතයකටම’ (ජන සමාජයකටම) රසුල් වරයෙකු (පැමිණ) සිටියේය”.

(අල් කුර්ආන් 10 : 47 )

“(නබි වරය) සැබැවින්ම නුඹට පෙර අපි රසුල්වරුන් ව යැව්වෙමු. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිබඳ ව අපි නුඹට විස්තර කළෙමු. තවද ඔවුන්ගෙන් නුඹට විස්තර නොපැවසූ අයද වෙති”

(අල් කුර්ආන් 40 : 78)

ඉහත අල් කුර්ආන් වැකි අනුව සෑම ජනසමුහයකටම විශ්වයේ අධිපති සත්‍යය දෙවිඳුන්ගේ නිවැරදි මඟ පෙන්වීම ලබා දීම පිණිස ධර්ම දුතයින් එවූ බව අපට උගන්වයි. මෙයට පෙර පැමිණි ධර්ම දූතයින් හා පහළ කරන ලද දිව්‍යමය මාර්ගෝපදේශයන් නිශ්චිත යුගයකට හා නිශ්චිත ජන කොට්ඨාශයකට පමණක් සීමාවූවක් විය. අල් කුර්ආනය පහළ වීමත් සමග පෙර දහම් අනුගමනය සැමටත් අල් කුර්ආනය පිළිගැනීම අනිවාර්ය විය. මෙම කරුණු සිත්හි දරාගෙන මෙයට පෙර දහම් හි දේව සංකල්පයන් විමසා බලමු.

හින්දු දහම

හින්දු දහමේ මුලාශ්‍රයන් අතුරින් පිළිගැනීමට ලක් වී ඇති වැදගත්ම මුලාශ්‍ර පහත සඳහන් අයුරින් අනු පිළිවෙලින් දැක්විය හැක.

  1. වේද  

  2. උපනිෂද්

  3. ඉතිහාස්

Choose Your Language